මෙම බදු අඩු කිරීමෙන් සිදුවන්න වූ පාඩුව රජය දරා ගනුයේ රජය විසින් සුබ සාධන සහ සංවර්ධන කටයුතු කරනු ලබන වියදම් මධ්‍යයේ ය. 2018 වසරේ ප්‍රාග්ධන වියදම් සඳහා බිලියන 760ක මුදලක් වෙන් කර ඇත. ශ්‍රී ලංකාවේ ඉන්ධන අවශ්‍යතාවෙන් 70%ක් ම නිමි භාණ්ඩ ලෙස ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් ආනයනය කරනු ලබයි. 2015 වන විට අමෙරිකානු ඩොලර් 49.49ක්ව තිබූ බොර තෙල් බැරලයක මිල 2017 අවසන් වන විට ඇමෙරිකානු ඩොලර් 54.95 දක්වා වැඩි විය. 2018 මාර්තු වන විට තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 63.07 දක්වා වැඩි වී ඇති අතර එය ඉදිරියේ දී ඇමරිකානු ඩොලර් 70 උපරිමය දක්වා වැඩි වන ඇතැයි අනාවැකි පළ වී තිබේ.
ලෝක වෙළෙඳපොළේ මිල වැඩිවීම අනුව ශ්‍රී ලංකාවේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නිෂ්පාදන පිරිවැය රුපියල් 132.37 දක්වා මේ වන විට වැඩි වී ඇත. එමෙන් ම ඩීසල් ලීටර් එකක නිෂ්පාදන පිරිවැය මේ වන විට රුපියල් 135 දක්වා වැඩි වී ඇත. එසේ වුව ද එහි පාඩුව විඳදරා ගනිමින් පෙට්‍රල් ලීටරයක් රුපියල් 117ටත්, ඩීසල් ලීටරයක් රුපියල් 95ටත් 2015 වසරේ සිට මේ වෙන තෙක් අලෙවි කෙරේ.
ශ්‍රී ලංකාවේ ඉන්ධන අලෙවි කරන මිල ජාත්‍යන්තර මිල දර්ශක අනුව සැසැඳීමේ දී අඩු මිලට පාරිභෝගියන්ට ඉන්ධන අලෙවි කරනුයේ ශ්‍රී ලංකාවේ ය. ශ්‍රී ලංකාවේ පෙට්‍රල් ලීටර් එකක විකුණුම් මිල අමෙරිකානු ඩොලර් 0.75ක් වන අතර (රුපියල් 117ක්) ඉන්දියාව සහ සිංගප්පූරු වැනි රටවල පිළිවෙලින් එය අමෙරිකානු ඩොලර් 1.16 සහ 1.59ට විකුණනු ලබයි. එමෙන් ම ඩීසල් ලීටරයක විකුණුම් මිල ඇමෙරිකානු ඩොලර් 0.61ක් වුව ද (රුපියල් 95ක්) ඉන්දියාව හා සිංගප්පූරුවේ ඩීසල් ලීටර් එකක් විකුණනු ලබන්නේ පිළිවෙළින් ඇමරිකානු ඩොලර් 1.01 සහ 1.18ක් වැනි මුදලකට ය.
2013 වසරේ දී ශ්‍රී ලංකාවේ පෙට්‍රල් ලීටර් එකක් රුපියල් 162 ක් විය. 2015 බලයට පත් වූ රජය ජනතාවට වූ පොරොන්දුව ඉටු කරමින් පෙට්‍රල් මිල රුපියල් 117 දක්වා අඩු කළේ ය. එමෙන් ම රුපියල් 111ක් ව පැවැති ඩීසල් ලීටර් එකක් 2015 වසරේ දී රුපියල් 95 දක්වා අඩු කරන ලදී.
2015 දී අඩු කරන ලද මිලටම ඉන්ධන මේ වන තෙක් අලෙවි කරනු ලැබූව ද ජාත්‍යන්තර තෙල් මිලෙහි අඛණ්ඩ වැඩි වීමක් වාර්තා වේ. මෙවන් පසුබිමක් තුළ තව දුරටත් ලෝක තෙල් මිල වැඩිවීමක් සිදු වුවහොත් සමාජ, ආර්ථික හා සංවර්ධන ක්ෂේත්‍රයේ ඇතිවන්න වූ අහිතකර බලපෑම වැළැක්විය නොහැකි ය.