ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    නවීකරණය කරන ලද මැදිරි 09 ක් සහිත දුම්රිය ධාවනයට

    අප්‍රේල් 01, 2018

    වත්මන් රජයේ අයවැය යෝජනාවකට අනුව දේශීය කර්මාන්තකරුවන් දිරි ගැන්වීමේ හා නඟා සිටුවීමේ අරමුණින් පැරණි අබලන් වු දුම්රිය මැදිරි 200 ක් පූර්ණ පහසුකම් සහිතව නවීකරණය කිරීමේ ව්‍යාපෘතියක් දුම්රිය දෙපාර්තමේන්තුව මගින් 2017 වසරේ ජනවාරි මස ආරම්භ කරන ලද අතර  මෙම ව්‍යාපෘතිය යටතේ නවීකරණය කරනු ලැබු මැදිරි 09 ක් සහිත විශේෂ දුම්රිය කොළඹ කොටුවේ සිට රාගම දක්වා
    ඊයේ 31 දින පෙ.ව. 09.00 ට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු  කළේ ය.


    මෙම අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ එම නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශ සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිළධාරීන්
    පිරිසක් සහභාගි වු අතර කොටුවේ සිට රාගම දක්වා මගීන්ටද මෙම දුම්රියෙන් ගමන් පහසුකම් ලබාදෙන ලදී.

    මෙම ව්‍යාපෘතිය යටතේ 1989 හා 1992 වසරේ මෙරටට ආනයනය කරනු ලදුව පරිහරණයෙන් ඉවත දැමූ මැදිරි 140 ක් හා 1992 වසරේ දිවයිනට ආනයනය කරන ලද එස් 08 බලවේග කට්ටල වලට අයත් මැදිරි
    60 ක් නවීකරණය කිරීමට කටයුතු කර ඇත. නවීකරණය කරනු ලැබූ මැදිරියක ආයු කාලය (Warranty) තවත් වසර 15 කට අධික කාලයක් වන සේ නවීකරණය කටයුතු සිදු කර ඇත.

    මෙම මැදිරිවල පිටත සහ ආසන, වැසිකිළි ඇතුළුව උපාංග සහිත අභ්‍යන්තර කොටස ශ්‍රී ලාංකීය කර්මාන්තකරුවන් වන තන්ත්‍රී (TANTRI) සමාගම විසින් සිදු කරනු ලද අතර බෝගී, තිරිංග සහ ස්වයංක්‍රීය ඇමුණුම් අළුත්වැඩියාවන් රත්මලානේ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන යාන්ත්‍රීක ඉංජිනේරු කර්මාන්තශාලාව මගින් සිදු කර ඇත.

    එක් මැදිරියක් නවීකරණ කටයුතු සඳහා රුපියල් මිලියන 14 කට ආසන්න මුදලක් වැය කර ඇති අතර මෙවැනි මැදිරියක් ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන 60ක් පමණ වැයවන බව දුම්රිය දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. සමස්ත ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 2.4 ක් රජය වැය කර ඇති අතර මෙම මැදිරි මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා යොදවා ගැනීමෙන් අනතුරුව මතුවන ගැටළුකාරී තත්ත්වයන් පිළිබඳ නිරීක්ෂණය කිරීමෙන් පසු ඒ සඳහා සාධනීය විසඳුම් ලබාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරන බව අවධාරණය කරයි.

    ඒ අනුව මෙම මැදිරි පිළිබඳව යෝජනා හෝ චෝදනා තිබේනම් දුම්රිය දෙපාර්තමේන්තුවට දන්වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.මෙම අවස්ථාවට සහභාගිවෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා; මෙම නවීකරණය කරනලද දුම්රිය මැදිරි දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන්ගේ තාක්ෂනය ශ්‍රී ලාංකීය පුද්ගලික අංශය එක්ව කටයුතු කල අවස්තාවක්. මේ දුම්රිය දෙපාර්තමේන්තුව තුල විශාල රැකියා ප්‍රමාණයක් උත්පාදනය වුනා.

    මෙම දුම්රිය මැදිරි ආනයනය කල දුම්රිය මැදිරි වලටත් වඩා ශක්තිමත් , වසර 15ක වගකීම ඔවුන් ලබාදී තිබෙනවා. මෙම දුරිය මැදිරියක් ආනයනය කිරීමට සිදුවුනොත් එක් මදිරියකට රුපියල් මිලියන 60ක් වැයවෙනවා, නමුත්
    මේ එක් මැදිරියක් සාදා නිමකිරීමට වැයවුයේ රුපියල් මිලියන 14ක් වැනි මුදලක් පමණි. ඒ තුලින් පිට රටට යන විශාල විදේශ ව්නිමය ප්‍රමාණය ඉතිරි කරගැනීමට අපට හැකිවුණා. ඉන්දියානු නය සහනාධාර තවත් මැදිරි 200 ක් ආනයනය කිරීමට කටයුතු කර තිබෙනවා නමුත් එම දුම්රිය මැදිරි මෙරටට ගෙනඒමට තවත් වසර 2ක් පමණ ගතවෙනවා, නමුත් මෙම ව්‍යාපෘතිය යටතේ මසකට මැදිරි 10යක් දුම්රිය සේවයට ලබාදීමට කටයුතු
    කරනවා.පුද්ගලික අංශයත් සමග මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී වෘත්තීය සමිති විවිධ අපවාද කිව්වා, දුම්රිය දෙපාරතමේන්තුව විකුනන්න යනවා කිව්වා, අද ඒවා නිෂ්ඵල කතා බවට පත්වෙලා තිබෙනවා. ඉදිරියටත් දුම්රිය දෙපාර්තමේන්තුව පුද්ගලික අංශයත් එක්ව කටයුතු කරනවා .දුම්රිය ඉතිහාසයේ වර්ණවත් කිරීමට සිදුකල ව්‍යාපෘතියක් ලෙස මෙය මම හඳුන්වනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya