ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    ගෘහ සේවක, සේවිකාවන්ටත් අර්ථ සාධක අරමුදල් ගෙවීමේ නව නීති-කම්කරු ඇමති

    අප්‍රේල් 02, 2018

    ගෘහ සේවක,සේවිකාවන්ටත් ඉදිරියේ දී අර්ථ සාධක අරමුදල් ගෙවීමට අවශ්‍ය නීති කෙටුම්පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා සහ සබරගමු සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පැවසීය.

    අභිනවයෙන් ඉදිකරන ලද පොළොන්නරුව දිස්ත්‍රික් කම්කරු කාර්යාලය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදී.පොළොන්නරුව කදුරුවෙල නගරයේ මෙම නව කම්කරු කාර්යාලය ස්ථාපනය කර ඇත.

    අංග සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත මෙම තෙමහල් කම්කරු කාර්යාල සංකීර්ණය ඉදිකිරීම වෙනුවෙන් රජය ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 158කි. පොළොන්නරු දිස්ත්‍රික්කයේ විවිධ ආයතන 3,000කට ආසන්න ප්‍රමාණයක, සේවක සේවිකාවන් 50,000 කට පමණ මෙම නව කාර්යාලය මගින් දෛනික සේවාවන් ලබා ගත හැකිය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “වැඩකරන ජනතාවට කඩිනමි, කාර්යක්ෂම සේවයක් ලබා දීම තමයි රාජ්‍ය සේවය තුළින් අපි රජයක් විදිහට බලාපොරොත්තු වෙන්නේ. කම්කරු අමාත්‍යංශයේ වගකීම තමයි වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දීම.දිස්ත්‍රික් මට්ටමින් සියළු පහසුකම් සහිත, කම්කරු කාර්යාල ජාලයක් අපි ස්ථාපිත කරමින් යන්නේත් අන්න ඒ අරමුණ වෙනුවෙන්.පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහල් නිෂ්පාදනය කරන සහල් මෝල ,ඇඟලුම් ආයතන ඇතුළු ආයතන 3,000 ක් විතර තියෙනවා.එයින් 1,500ක් පමණ ආයතන තමයි සක්‍රියව ක්‍රියාත්මක වෙන්නේ.සක්‍රීයව ක්‍රියාත්මක නොවන ආයතන ගැන නිරන්තරව පරීක්ෂා කර ඒවායෙහි සේවය කරන පුද්ගලයන්ගේ අර්ථ සාධක අරමුදල් අයකර ගැනීමට අවශ්‍ය පියවර මෙම කාර්යාලය මගින් සිදු කළ යුතුයි.”

    අපේ රටේ විශාල ප්‍රමාණයක් සිටින ගෘහ සේවක සේවිකාවන්ටත් අපේ රටේ මෙතෙක් හිමිනොවු පිළිගත් කම්කරු අයිතිවාසිකම් ලබා දීමට අපි තීරණය කර තිබෙනවා.මේ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය දැන් හිමිව තිබෙනවා.ඒ අනුව ඔවුනට අර්ථ සාධක අරමුදල්,සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් ගෙවීමට සිදුවෙනවා.

    ඒවගේම වෘත්තීය අනතුරකට ලක්වුනොත් වන්දි ගෙවීමක් ඔවුනට මෙතෙක් හිමිවුනේ නෑ. නව නීති අනුව එම අයිතියත් ලැබෙනවා.මේ ආකාරයට වැඩකරන ජනතාවට හිමි කම්කරු අයිතිවාසිකම් සියල්ල ඔවුනට ලැබෙන ආකාරයේ නව කම්කරු නීති අපි හඳුන්වා දෙනවා.

    “අපේ රටේ අවම වැටුප දැන් රුපියල් 10,000 යි.එම නීතිය අනුව කිසිදු සේවකයෙකුට රුපියල් 10,000 අඩුවෙන් පඩි ගෙවන්න බැහැ. ගෘහ සේවක සේවිකාවනුත් එම නීතියට ඉදිරියේ ඇතුල් කරනවා. ඒ වගේම ළමයි දෙදෙනෙකුට පමණක් සීමා වී තිබූ ප්‍රසූත නිවාඩු අයිතිවාසිකමත් සිමාවකින් තොරව ලබා දිමටත් දැන් අවශ්‍ය නීති සම්පාදනය කර තිබෙනවා.එයත් කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරනවා. ” අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම කම්කරු කාර්යාල සංකීර්ණය විවෘත කෙරුණු අතර මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්,කම්කරු අමාත්‍යාංශ ලේකම් නිමල් සරණ තිස්ස,කම්කරු කොමසාරිස් ජනරාල් ඒ විමලවීර යන මහත්වරුන් ,රාජ්‍ය නිලධාරීන්,ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya