ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    විභාග දෙපාර්තමේන්තුව සූර්ය බල ශක්තියෙන් බල ගැන්වෙයි

    අප්‍රේල් 25, 2018

    රාජ්‍ය තිරසාර සංවර්ධන වැඩපිළිවෙළෙහි තවත් සුවිශේෂී ඉදිරි පියවරක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු ගොඩනැගිලි සංකීර්ණය සූර්ය බල ශක්තියෙන් බලගැන්වීම ඊයේ (24) ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු‍ පරිශ්‍රයේ දී සිදුකෙරුණා. ඒ, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්.

    කිලෝවොට් 250ක ධාරිතාවක බලශක්තියකින් යුත් මෙම බල ශක්ති ව්‍යාපෘතිය මේ වනවිට රාජ්‍ය ආයතනයක ඉදිකර ඇති විශාලතම සූර්ය පැනල පද්ධතිය ලෙස දැක්විය හැකියි. මෙම සූර්ය බල ජාල පද්ධතිය සූර්ය පැනල හත්සිය පනහකින් සමන්විත වන අතර, මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 28.5ක් වේ.  මෙම සූර්ය බල ජාල පද්ධතිය මගින්  මෙගාවොට් පැය  30ක  බල ශක්තියක් ජාතික විදුලි ජාලය වෙත මාසිකව නිකුත් කිරීමට අපේක්ෂිතයි.

    රුපියල් මිලියන අට ඉක්ම වූ වටිනාකමකින් යුත් විදුලි බල ශක්ති ප්‍රමාණයක් වාර්ෂික ව නිපදවන මෙම සූර්ය පැනල පද්ධතිය පිහිටුවීම හේතුවෙන් ඉදිරි වසර කිහිපය තුළ විභාග දෙපාර්තමේන්තුවේ මාසික විදුලි වියදම රුපියල් ලක්ෂ 8 කින් පමණ අඩුකරගත හැකි බවට අපේක්ෂා කරයි. පොසිල ඉන්ධන වෙනුවට පුනර්ජනනීය බල ශක්ති භාවිතය තුළින් දේශීය ආර්ථිකයට සිදුවන මෙම විනිමය ඉතිරියට අමතර ව සුවිශේෂ පාරිසරික ප්‍රතිලාභයක් ද මෙමඟින් සැලසෙන බව පරිසරවේදීන් සඳහන් කරයි.  වාර්ෂික ව මෙට්රික් ටොන් දෙසීයක පමණ අහිතකර කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයක් පරිසරයට එක්වීම මෙම සූර්ය බල ජාල පද්ධතිය පිහිටුවීම නිසා වැළකී යන බවත්, එය විශාල වෘක්ෂ පන්සියයක පරිසර කාර්යභාරයට සමාන කළ හැකි බවත් පරිසරවේදීන්ගේ අදහසයි.

    අධ්‍යාපන ක්ෂේත්‍රයේ තිරසර සංවර්ධනය වෙනුවෙන් සුවිශේෂ ක්‍රියාමාර්ග රැසක් දියත් කර ඇති වත්මන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයකට අනුව, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ  ද සහාය ඇති ඉහළතම තාක්ෂණ ක්‍රමවේද යොදාගනිමින් මෙම ජාල පද්ධතිය ස්ථාපනය කර තිබේ. මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී එස් රාධක්‍රිෂ්ණන්, විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya