ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    කිසිදු භේදයකින් තොරව අධ්‍යාපනය දියුණු කිරීමට වත්මන් රජය ඇපකැප වෙනවා - අධ්‍යාපන ඇමැති

    මැයි 21, 2018

    ජාති, ආගම්, කුල භේද නොසලකා රටේ අධ්‍යාපනය දියුණු කිරීමට වත්මන් රජය කැප වී ක්‍රියා කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පසුගිය දා පැවති ත්‍රිකුණාමලය ශාන්ත මරියා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින්.

    අමාත්‍යවරයා පෙන්වා දුන්නේ 30 වසරක කුරිරු යුද්ධය හේතුවෙන් බැට කෑ එම පළාත්වල ජනතාවගේ ජීවන මට්ටම නගා සිටුවීමට වත්මන් රජය නිරන්තරයෙන් ඇප කැප වී සිටින බවයි.

    තමන් මෙරට අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් පත් වූ විගසම, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් තමන් වෙත උපදෙස් දුන්නේ, දශක 03 ක් පුරා පැවති යුද්ධය හේතුවෙන් කඩා වැටුණු උතුරු නැගෙනහිර ප්‍රදේශයේ අධ්‍යාපනය දියුණු කිරීමට බවත් ළඟම පාසල හොඳම පාසල වැඩසටහන බිහිවන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ, උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල පාසල් රැසක් මේ වන විටත් සංවර්ධනය කිරීමට කටයුතු කර ඇති බවත්, නැගෙනහිර ප්‍රදේශය තුළ පාසල් සංවර්ධනය සඳහා පමණක් රුපියල් මිලියන අටදහසක මුදලක් රජය විසින් වෙන් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    එම මුදල 2015 ට පෙර, පාසල් සංවර්ධනය කිරීම සඳහා රටේ පළාත් නවයටම වෙන් කළ මුදල බවත්, අද නැගෙනහිර පළාතට පමණක් එවැනි මුදලක් වෙන් කිරීමට හැකි වීම පිළිබඳව තමන් බෙහෙවින් සතුටට පත් වන බවත්  පැවසීය.

    ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින්, ත්‍රිකුණාමලය ශාන්ත මරියා විද්‍යාලයේ ඉදිකරනු ලැබූ නව තෙමහල් පාසල් ගොඩනැගිල්ල සහ නව ගුරු නිවාසය ද මෙහිදී විවෘති කෙරිණි.

    මේ අතර ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ඉදිකළ ත්‍රිකුණාමලය නාලන්දා විද්‍යාලයේ නව තාක්ෂණික ගොඩනැගිල්ල ද පසුගිය දා අමාත්‍යවරයා අතින් විවෘත විය.

    එම උත්සවය අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ පරිපාලන කටයුතු විධිමත් කිරීමේ අරමුණින් දැනට 98 ක්ව පවතින දිවයින පුරා අධ්‍යාපන කලාප කාර්යාල ගණන ඉදිරියේ දී 200 ක් දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවයි.

     සෑම අධ්‍යාපන කලාපයක් සඳහාම ගුරු සංචිතයක් නිර්මාණය කිරීමට පියවර ගන්නා බවත්, අධ්‍යාපන ක්ෂේත්‍ර‍යේ කාර්යක්ශමතාව වැඩි කිරීම එහි අරමුණ බවත් අධ්‍යාපන අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නා.

    එමෙන්ම ගර්භණි ගුරුවරියන් සඳහා විධිමත් හා සෞඛ්‍යාරක්ෂිත නව නිල ඇඳුමක් හඳුන්වාදීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විට පියවර ගෙන ඇති බව ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya