ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    හරිත වැලි තොටුපොළ සංකල්පය ආරම්භ වෙයි

    ජූනි 06, 2018

     

    ශ්‍රී ලංකාවේ වැලි කැණීම් සිදුකරන සියලුම වැලි තොටුපොළවල් හරිත වැලි තොටුපොළ සංකල්පයට යටත් විය යුතු බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා පැවසීය.

    පරිසර දිනයට සමගාමීව බදුල්ල භූ විද්‍යා  සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් මහියංගනයේ මහවැලි සී කලාපයේ පගරගම්මන ප්‍රදේශයේ ඊයේ පැවති (05) හරිත වැලි තොටුපොළ සංකල්පය ආරම්භ කරමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

    මෙහිදී පගරගම්මන මහවැලි ගං ඉස්මත්තේ විශේෂ පරිසර ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාත්මක වූ අතර එහිදී හරිත වැලි සංකල්පය හඳුන්වාදීම සිදු විය.


    කාලයක දැඩි ලෙස පරිසරය විශාල ලෙස හානියට ලක්වන බව පැවසූ මහිංගණ ප්‍රාදේශයේ කරන ලද සොයාබැලීම්වලින් අනතුරුව මේ ප්‍රදේශයේ සෑම වැලි තොටුපොළක් පාහේම හරිත තොටු‍පොළ සංකල්පය අනුව දැනටමත් ගොඩනගා ඇති බවත්, මෙරට සෑම වැලි තොටුපොළක්ම එම සංකල්පය යටතේ ක්‍රියාත්මක කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පියවර ගන්නා බවත් බදුල්ල භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරු අසංක රූපවංශ මහතා පැවසීය.

    ඉංජිනේරුවරයා ප්‍රකාශ කළේ හරිත වැලි තොටුපොළ සංකල්පය යටතේ ගංගාවත්, ගං ඉවුරත් අවට පරිසරයත් සුරක්ෂිත වන බවයි.

    මේ ක්‍රමය යටතේදී ගංගාවේදී සිට ගං ඉවුරේ අඩි 10 පමණ ප්‍රදේශ‍යක් හරිත කලාපය ලෙස නම් කරන අතර එය වන‍ රෝපණයකින් සමන්විත වේ. ඒ හරහා වැලි තොටුපොළට ගමන් කරන්න අඩි 03ක පාරක් ඉතුරු වේ. මේ ක්‍රමය නිසා ගංගාවට ට්‍රැක්ටර් බැස්වීමට නොහැකි අතර වැලි ගොඩදැමීම සිදුවන්නේ නිසි ප්‍රමිතියකට අනුවයි. එහිදි කූඩ ‍යොදා ගෙන අඩි 10 සීමාව ඉක්මවන තෙක් වැලි රැගෙන ආ යුතුයි. ඉන්පසු විල්බැරෝවක් ආදාරයෙන් වැලි පටවන තැනට රැගෙන ආ යුතුයි. වැලි ගොඩදැමීම සඳහා යොදා ගන්නා බෝට්ටු, එන්ජින් රහිත බෝට්ටු විය යුතුයි. ඊයේ සිට සභාපතිවරයාගේ  උපදෙස් මත මෙම හරිත වැලිතොටුපොළ සංකල්පය හඳුන්වා දී තිබේ. ඉදිරියේදී හරිත වැලි තොටුපොළ සංකල්පය ක්‍රියාත්මක නොකරන පිරිසට වැලි බලපත්‍ර  නිකුත් නොකරන අතර ඒ අයගේ බලපත්‍ර අහෝසි කිරීමද සිදු වේ.

    මෙම උත්සවයට මහවැලි පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන්, ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya