ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    සමූපකාර ව්‍යාපාරයේ තිරසාර සංවර්ධනයට නැගෙනහිර පළාතේ නව සමුපකාර සමිති ආරම්භ කරනවා

    ජූනි 12, 2018

    96 වැනි ජාත්‍යන්තර සමූපකාර දිනය 2018 ජූලි 07 වැනිදාට යෙදී ඇති බවත්, ඒ නිමිත්තෙන් පැවැත්වෙන ජාතික සමුපකාර සැමරුම් උළෙල පළමු වතාවට නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ පැවැත්වීම උතුරු නැගෙනහිර පළාතේ සමූපකාරකයින් ප්‍රමුඛව පළාතේ ජනතාවට කරන ලද ගෞරවයක් බවත්, ඒ අනුව නැගෙනහිර පළාතේ සමුපකාර ව්‍යාපාරය තුළ තිරසාර සංවර්ධනය ඇති කිරීමට නව සමූපකාර සමිති හා සමූපකාර සේවා අලෙවිසැල් දිස්ත්‍රික් මට්ටමින් බිහිකිරීමට පියවර ගන්නා බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා  අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති ජාත්‍යන්තර සමූපකාර දින වැඩ පිළිවෙල පිළිබඳව සාකච්ඡාවේදීය. 

    ලෝක සමුපකාර ව්‍යාපාරයට දිගු ඉතිහාසයක් පවතී. වර්ෂ 1844 දී එනම්, මීට වර්ෂ 174 කට පෙර එංගලන්තයේ, රොච්ඩේල් නගරය කේන්ද්‍ර කරගෙන සාධාරණත්වයේ පුරෝගාමී සමාජය විසින් සමූපකාරය විධිමත්ව ආරම්භ කරන ලද බවත්, එයට නිර්මාතෘත්වය දුන්නේ රොබට් ඕවන් මහතා බවත් සමූපකාර ඉතිහාසයේ සඳහන් වේ. එයින් සමූපකාර ව්‍යාපාරය බටහිර යුරෝපීය හා ඇමරිකානු කලාප ඔස්සේ ආසියාව වෙත පිවිසි අතර ශ්‍රී ලාංකීය සමූපකාර ව්‍යාපාරයේ ඉතිහාසය ද වසර 112 ක් තරම් අතීතයට විහිදී යයි. එනම් 1906 දී ග්‍රාමීය ජනතාව සඳහා කෘෂිකර්මාන්තයට අවශ්‍ය ආධාර උපකාර ලබා දෙමින් ආර්ථික අවශ්‍යතා ඉටු කිරීම සඳහා සමූපකාර ව්‍යාපාරය බිහි විය. එහි පළමු සමුපකාර සමිතිය ආරම්භ වන්නේ "දුම්බර මිටියාවතේ සමූපකාරය" ලෙසිනි. වර්ෂ 1911 අංක 07 දරණ සමූපකාර සමිති අඥා පණතට අනුව සමූපකාර ව්‍යාපාරයට විධිමත්භාවයක් හා රාජ්‍යමය අනුග්‍රහය ලැබුණි. වර්ෂ 1930 දී සමූපකාර දෙපාර්තමේන්තුව බිහි වූ අතර, එය 1945 දී සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව ලෙස නම් කෙරුණි. මේවන විට රට පුරා සමූපකාර සේවා අලෙවිසැල් 14,500 ක් ඇති අතර, සමූපකාර ව්‍යාපාරයේ සේවයේ නියුතු පිරිස 46,000 ක් පමණ වේ. සමූපකාරයේ වත්කම ඩොලර් බිලියන 1.8 ක් හෙවත් රුපියල් බිලියන 288 ක් වන අතර, ඉතුරුම් ප්‍රමාණය ඩොලර් බිලියන 01 ක් හෙවත් රුපියල් බිලියන 160 ක් පමණ වේ. එදා මෙදා තුර සමූපකාර ව්‍යාපාරයට රාජ්‍ය අතහිත නොමදවම ලැබුණි.

     "මෙවර නැගෙනහිර පළාතේ පැවැත්වෙන සමූපකාර ජාත්‍යන්තර දින උළෙල නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ පූර්ණ සහයෝගයෙන් පැවැත්වෙනවා. එම මහා සමුළුවට අපි දිවයින පුරාම විහිදී සිටින සමූපකාර සමිති සාමාජිකයන්  10,000 ක් පමණ සහභාගී කරවීමට බලාපොරොත්තු වෙනවා. මේ අභිමානවත් උළෙලේදී අපිට මඩකලපුව දිස්ත්‍රික්කය තුළ පමණක් නොවෙයි මුළු නැගෙනහිර පළාතම සමූපකාර සංවර්ධන කටයුතු ශක්තිමත් කරමින්, නව සමුපකාර සමිති බිහි කරමින්, සමූපකාර අලෙවිසැල් තවදුරටත් ව්‍යාප්ත කරමින් අපගේ ජනතාවට ඉමහත් සේවයක් ඉටු කරන්නට පුළුවන්. මෙවර සමූපකාර දින තේමාව වන්නේ"තිරසාර භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා පරිභෝජනය" යන්නයි. ඒ අනුව නැගෙනහිර පළාතේ සමූපකාරිකයන් හරහා එම පළාතේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය දිරිගන්වමින්, ඒවා පරිභෝජනය සඳහා ජනතාව යොමු කිරීමට අවස්ථාව උදාකර ගත යුතුයි. අපි ඒ සඳහා අපගේ පූර්ණ ශක්තිය යෙදවීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සමූපකාර සේවක සේවිකාවන්ට අභිමානයක් ලබා දීමටත් , එක්සත් ජාතීන්ගේ තිරසර ගෝලීය ඉළක්ක ජයග්‍රහණය කිරීම මඟින් අපේ රටේ ජනතාවට සමූපකාර සේවය ඉහළ මට්ටමින් ලබා දීමටත් පියවර ගැනීමට බලාපොරොත්තු වෙනවා."  යැයි පැවසීය.

    මෙහිදී අදහස් දක්වමින් කතා කළ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතා මෙසේ පැවසීය.

    "ජාත්‍යන්තර සමුපකාර දිනය මෙවර නැගෙනහිර පළාතේ සමරන්නට අවස්ථාව ලබා දුන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට මම ස්තූතිවන්ත වෙනවා. එය නැගෙනහිර පළතේ ජනතාවට කරන ලද ගෞරවයක් ලෙස මම සළකනවා. මගේ පියා මෙරට සමූපකාර ක්‍ෂේත්‍රයේ පුරෝගාමීයෙක්. එතුමා මෙම සමූපකාර ව්‍යාපරය රට පුරාම ව්‍යාප්ත කරලීමට ගත් වෙහෙස මම දැක තියෙනවා. ඒ නිසා මම මේ සමූපකාර ව්‍යාපාරයට හරිම කැමතියි. මට සමූපකාරය ගැන ඇත්තේ ගෞරවයක්. ඒ නිසා අපි සමූපකාර ජාත්‍යන්තර දිනය, නැගෙනහිර පළාතේ ඉහළින්ම සැමරීමට පියවර ගන්නවා. මේ සමූපකාර ව්‍යාපාරය ජනතාවගේ ජන ජීවිතයට බද්ධ වී තිබෙන ව්‍යාපාරයක් ඒ නිසාම මේ ව්‍යාපාරයේ සංවර්ධනයට අඛණ්ඩ දායකත්වයක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා  සමූපකාරිකයන් සැමගේ කැපවීම අවශ්‍ය වෙනවා. ඒ වගේම යුද්ධය නිසා නැගෙනහිර පළාතේ සමූපකාර ව්‍යාපාරය බිඳ වැටුණා. ඒ නිසා අපි නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක 03 හිම, එක් දිස්ත්‍රික්කයකට නව සමූපකාර සමිති 100 බැගින්වත් ආරම්භ කිරීමට පියවර ගන්නා මෙන් ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා." යැයි පැවසීය.

    මේ අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක, නැගෙනහිර ආණ්ඩුකාර ලේකම් අසංග අබේවර්ධන, සමූපකාර සංවර්ධන කොමසාරිස් එස්.එල්. නෂීර් මහත්වරු ඇතුළු පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස්වරුන්, දිස්ත්‍රික්ක සමූපකාර නායක නායිකාවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya