ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    බස්නාහිර පළාතේ කාන්තා පළාත් පාලන සභිකයන්ගේ හැකියාවන් වර්ධනය කිරීමේ වැඩමුළුවක් කොළඔ දී

    ජූලි 02, 2018

    බස්නාහිර පළාතේ කාන්තා පළාත් පාලන මන්ත්‍රීවරියන්ගේ හැකියාවන් වර්ධනය කරමින් ඵලදායී නායිකාවන් නිර්මාණය කිරීමේ එක් දින වැඩමුළුවක් අද (02) පෙරවරුවේ කොළඔ කින්ග්ස්බරි හෝටලයේදී ආරම්භ කෙරිණ.

    පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකාවන්ට මෙම නවක මන්ත්‍රීවරුන් සමඟ සිය අත්දැකීම් හුවමාරු කර ගැනීමට අවස්ථාව ලබා දීම සහ දේශපාලන පක්ෂ සීමාවෙන් ඔබ්බට ගොස් කාන්තා ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණි.


    දීප ව්‍යාප්ත මට්ටමෙන් පැවැත්වීමට අපේක්ෂිත මෙම වැඩමුළුව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ සංවිධානයෙන් USAID ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්විණ. මෙය බස්නාහිර පළාතේ නවක මන්ත්‍රීවරුන් ඉලක්ක කර ගෙන
    පවත්වන ලද තෙවන වැඩමුළුව වන අතර, මීට පෙර නැගෙනහිර පළාතේ සහ උතුරු මැද පළාතේ මෙවැනි වැඩමුළු දෙකක් පවත්වා ඇත. කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාන්තා සංසදයේ සභාපති චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය මෙම අවස්ථාවට සහභාගී වෙමින් අනෙකුත් රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතනවල ඉතාමත් ඉහල කාන්තා නියෝජනයක් පැවතියද දේශපාලන භූමිකාව තුළ පමණක් කාන්තා නියෝජනයේ අඩුවක් දක්නට ලැබෙන බවත්, එකී ඉලක්කය කරා ළඟා වීමට අවශ්‍ය ශක්තිය අපට ලැබී ඇති බවත්, පළාත් පාලන ආයතනවලට පත් වූ කාන්තා මන්ත්‍රීවරියන්ට සිය රාජකාරී කටයුතු කිරීමට අවශ්‍ය දැනුම ලබා දීමට මෙම වැඩමුළුවේදී අපේක්ෂා කරන බවත් පැවසුවාය.


    මෙම වැඩමුළු සාර්ථක කර ගැනීමේදී USAID ආයතනය සහ පළාත් පාලනය පිළිබඳව ශ්‍රී ලංකා ආයතනය (SLILG) විශාල සහයෝගයක් ලබා දුන් බවත් අමාත්‍යවරිය මෙහිදී සිහිපත් කළාය.

    මෙම අවස්ථාවට සහභාගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාන්තා සංසදයේ උප සභාපති වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙම නවක මන්ත්‍රීවරියන් කොට්ඨාසයට වැඩ කිරීම සඳහා පත් කර ඇති කොන්ත්‍රාත්කරුවන් නොව කොට්ඨාසයේ මහජනතාවට සේවය කිරීම සඳහා ජනතා වරමින් පත් වූ ජනතා නියෝජිතයින් බවත්, අද බොහෝ විට පාරවල් තැනීම බෝක්කු තැනීම වැනි කාර්යයන් සඳහා පළාත් පාලන ආයතනවල කාර්ය භාරය සීමා වී ඇතත් ඉන් ඔබ්බට යමින් විශාල කාර්ය භාරයක් ඉටු කිරීමට මෙම ආයතනවලට හැකියාව පවතින බවත් ප්‍රකාශ කළාය. කසළ කළමානාකරණය, ගෘහස්ථ ගෙවතු වගාව ප්‍රචලිත කිරීම, නූතනයේ ලොකු අර්බුදයක්ව පවතින බෝ නොවන රෝග පැතිරයාමේ අවධානම අවම කිරීමට අවශ්‍ය පියවර ගැනිම ආදී කර්තව්‍යයන් කෙරෙහි අවධානය යොමු කරමින් විශාල කාර්ය භාරයක් ඉටු කළ හැකි බව ද උප සභාපතිනිය වැඩිදුරටත්
    පැවසීය.


    මෙහිදී ජනතාවට සේවය කිරීමේදී අවශ්‍ය පරිපාලන දැනුම, මහජන නියෝජිතයෙක් වශයෙන් ජනතාව ඉදිරියේ හැසිරිය යුත්තේ කෙසේද? ප්‍රජාවගේ හැසිරීම හදා ගැනීමට ජනතාවට කථා කරන්නේ කෙසේද? ජනතාවට කළ
    හැක්කේ කෙබඳු සේවයක්ද? මොවුන් නියම මහජන නියෝජිතයින් ලෙස සමාජයට ඉදිරිපත් කරන්නේ කෙසේද? ආදී කරුණු රාශියක් පිළිබඳව මෙම නවක මන්ත්‍රීවරියන් දැනුම්වත් කිරීමට අපේක්ෂා කරන බව මෙම අවස්ථාවට සහභාගී වෙමින් පළාත් පාලනය පිළිබඳව ශ්‍රී ලංකා ආයතනයේ (SLILG) අධ්‍යක්ෂ සුජීව සමරවීර මහතා පැවසීය.


    මෙම අවස්ථාවට SDGAP ආයතනයේ නීති ප්‍රතිසංස්කරණ හා නියාමන විශේෂඥ ෂමා සල්ගාදු මහත්මිය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය කමලා ලියනගේ මහත්මිය පළාත් සභා පලාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යාංශය සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීහු රැසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya