ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    ජාතික වෛද්‍ය ප්‍රවාහන ආයතනයට කඩිනමින් රජයේ වෛද්‍යවරුන් බඳවා ගැනීමට පියවර

    ජූලි 17, 2018

    ජාතික වෛද්‍ය ප්‍රවාහන අංශයේ දැනට පවතින වෛද්‍ය පරීක්ෂණ වාර්තා ලබාදීමේ තදබදය මඟ හරවා ගැනීමට කඩිනමින්  MBBS උපාධිධාරී වෛද්‍යවරුන් බඳවා ගැනීමට අමාත්‍ය  මණ්ඩල අනුමැතිය ලබා ගත් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

    ඒ අනුව ඉදිරි මාසයක් ඇතුළත රජයේ වෛද්‍ය නිලධාරීන් 50 ක් ජාතික වෛද්‍ය ප්‍රවාහන ආයතනයේ සේවය සඳහා බඳවා ගැනීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පැවසීය.

    වෛද්‍ය ප්‍රවාහන ආයතනයේ නවීකරණය කරන ලද තෙවන මහළ විවෘත කීරීමේ අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    රියදුරු පරීක්ෂණවලට පෙනී සිටීමට පැමිණෙන ජනතාවට අවශ්‍ය පහසුකම් ඉතාමත් අවම මට්ටමක පවතින මෙම ස්ථානය නවීකරණය කිරීමට හැකිවීම අමාත්‍යවරයා ලෙස තමා සතුටට පත් වන බවත්  නමුත් මෙම නවීකරණ කටයුතු කොළඹට පමණක් සීමා නොකොට ප්‍රාදේශිය මට්ටමින් ක්‍රියාත්මක වන වෛද්‍ය  පර්යේෂණ  ප්‍රවාහන ආයතන නවීකරණය කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය. ඒ සඳහා දැනටමත් අවශ්‍ය ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් ලබා ගැනීමට තමා කටයුතු කර ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

    එමෙන්ම ආයතනයේ කටයුතු සඳහා වෛද්‍යවරුන් ඇතුළු සේවක පිරිසේ හිඟයක් තිබෙන බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ පිළිබඳව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබෙන බව ද පෙන්වා දුන්නේය.

    ඒ මහතා ප්‍රකාශ කළේ ඉදිරි මාස දෙකක් වැනි කාලයක් තුළ මෙම සේවක හිඟය පියවා ගැනීමට හැකිවන බවයි.

    " අද මේ රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට ඉතාමත් බාධකයක් වී තිබෙනවා විගණන පනත. අද රජයේ සේවකයෝ තීන්දු තීරණ ගැනීමට බයෙන් ඉන්නවා මේ විගණන පනත නිසා. නමුත් නිවැරදි තීරණ ගැනීමට කිසිම රාජ්‍ය  සේවකයෙක් බියවිය යුතු නැහැ. රටකට විගණනය අවශ්‍යයි. නමුත් සංවර්ධනය කඩාකප්පල්කාරී වන ලෙස මෙම විගණන ක්‍රියාවලිය ක්‍රියාත්මක වීම තුළින් රටේ දියුණුව පිළිබඳව ඉතාමත්ම විශාල ප්‍රශ්නයක් ඇතිවීමට ඉඩ තිබෙනවා. මේ පිළිබඳව රජයක් ලෙස සියලුම දේශපාලනඥයින් සැලකිලිමත් විය යුතුයි."

    මෙම ආයතනයේ සේවයට බැඳෙන සේවකයින් ඕනෑම ස්ථානයක සේවය කිරීමට බැඳී සිටිය යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා එමෙන්ම ආයතනය හා සේවකයන් තුළ අනන්‍යතාවයක් ඇති කිරීම සඳහා නිළ ඇඳුමක් ලබාදීමට යෝජනා කර සිටියේය.

    නිල ඇඳුමක් ලබාදීම සඳහා කටයුතු කරන ලෙසත් ආයතනයේ අනන්‍යතාවය දැක්වෙන පරිදි මනා නිළ ඇඳුමක් ලබන අගෝස්තු මස 01 දින සිට ලබාදීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා සභාපතිවරයා උපදෙස් ලබාදුන්නේය.

    ඒ වගේම මෙම නවීකරණය කරන ලද ගොඩනැගිල්ල මනා ලෙස නඩත්තු කළ යුතු බවත් එය මේ ආයතනයේ සභාපතිවරයාගේ සිට පහළ සිටින සුළු සේවකයා දක්වා තිබෙන වගකීමක් සහ යුතුකමක් බවත් ඒ මහතා අවධාරණය කළේය.

    අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය  අශෝක් අබේසිංහ මහතා නවීකරණය කරන ලද තෙවන මහළ විවෘත කිරීමෙන් අනතුරුව ජාතික වෛද්‍ය ප්‍රවාහන ආයතනයේ නිල වෙබ් අඩවිය ද විවෘත  කළහ.

    මෙම අවස්ථාවට ආයතනයේ සභාපති වෛද්‍ය රෝහණ පුෂ්පකුමාර මහතාද, අමාත්‍යාංශ ලේකම් ජී.එස්.විතානගේ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya