ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    බන්ධනාගාර රැඳවියන් වෙනුවෙන් පුස්තකාල ඇති කිරීමට පියවර

    ජූලි 27, 2018

    මෙරට පිහිටි රැඳවියන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන 30 තුළම පුස්තකාල ඇති කිරීමටත් එහි පළමු පියවර ලෙස බන්ධනාගාර 10 ක පුස්තකාල ඉදිකිරීමට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය හරහා කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (26) වැලිකඩ බන්ධනාගාරයේ දී පැවති උත්සවයක දී පැවසීය.

    අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ බන්ධනාගාර රැඳවියන්ට හොඳ පොත් කියවීමේ අවස්ථා ලබාදීමටත් ඒ අනුව ත්‍රිපිටකය, බයිබලය, කුරාණය ආදී ආගමික පොත්ද, මහාවංශය පන්සිය පණස් ජාතක පොත මෙන් ම නෙල්සන් මැන්ඩෙලාගේ වැනි චරිතාපදාන ද මනෝ විද්‍යාව සහ සාහිත්‍ය කෘති ඇතුළත් බන්ධනාගාර රැඳවියන්ගේ පුනරුත්ථාපනයට සහ මනෝ සංවර්ධනයට දායක විය හැකි පොත් පත් මෙම පුස්තකාලවලට ලබා දිය යුතු බවයි. එසේම මේ මගින් සිරගතව සිටින රැඳවියන් තුළ ඉතාමත් උසස් කෘති බිහිකිරීමට අවශ්‍ය අඩිතාලම වැටෙනු ඇතැයි ද අමාත්‍යවරයා තම විශ්වාසය පළ කළේය.

    එසේම බන්ධනාගාරගත වී සිටින රැඳවියන් අතර වැඩිවැඩියෙන් පොත්පත් කියවන සහ තමන් කිය වූ කෘති සම්බන්ධව යම් ආකාරයක විචාරයක් ඉදිරිපත් කිරීමේ අවස්ථා ඇති කර ඒ අනුව රැඳවියන්ගේ සිරගත කාලය අඩුකිරීමේ වැඩපිළිවෙළක් අධිකරණ අමාත්‍යවරිය සමඟ එක්ව සකස් කර ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමටත් තමා අදහස් කරන බව ද සඳහන් කළේය. 

    සිරගතව සිට දහම් පාසල් අවසාන විභාගයට පෙනී සිට ඉන් සමත් වූ 19 දෙනෙකු හා ධර්මාචාර්ය විභාගය සමත් වූ දෙදෙනෙකු වෙත අදාළ සහතික පත්‍ර ප්‍රදානය අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු විය. මෙම අවස්ථාවේ දී වැලිකඩ බන්ධනාගාරයේ සිරගතව සිටින රැඳවියන් විසින් රචනා කරන ලද සිපිරි ගේ පාමුල කාව්‍ය සංග්‍රහය දොරට වැඩීම ද සිදු කෙරිණි.

    මෙම උත්සව අවස්ථාවට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය සමග බන්ධනාගාර කොමසාරිස් එච්.එම්.එන්.සී. ධනසිංහ මහතා, බන්ධනාගාර පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති දීපාල් චන්ද්‍රරත්න මහතා මෙන් ම අධිකරණ හා සාහිත්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් රැසක් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya