ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාවක් කඩිනමින් ගෙන එනවා- ඇමැති වජිර අබේවර්ධන

    අගෝස්තු 15, 2018

    සේවා ව්‍යවස්ථාවක් නොමැතිව ගැටලු රැසකට මුහුණ දී සිටින ග්‍රාම නිලධාරීන් වෙනුවෙන් සේවා ව්‍යවස්ථාවක් සකස්කර තිබෙන බවත් එය ඉතා නුදුරු දිනක ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පසුගිය දා හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිල සෙවණ කාර්යාල අටක් විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

    එහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීවේය.

    ''ග්‍රාම නිලධාරී සේවාව මේ රටේ පැරණිතම රාජ්‍ය සේවාව. රජකාලේ සිට විවිධ නම්වලින් මේ සේවාව හඳුන්වා දුන්නා. ගම්මුලාදෑනී ලෙස හඳුන්වමින් තිබිය දී 1961 දී ග්‍රාම සේවක කියා නම වෙනස් කළා. 1989 දී ග්‍රාම නිලධාරී සේවාව බවට පත්වුණා. නමුත් එදා සිට අද දක්වාම ග්‍රාම නිලධාරී සේවාවට නිශ්චිත සේවා ව්‍යවස්ථාවක් නැහැ. කලින් සමාන්තර සේවා ව්‍යවස්ථාව ග්‍රාම නිලධාරීන් සඳහා ද අදාල වුවත් 2002 දී රාජ්‍ය කළමනාකරණ සහකාර සේවා ව්‍යවස්ථාව සමග සමාන්තර ශ්‍රේණි ව්‍යවස්ථාව අහෝසිවුණා. ඉතා වැදගත් බහුවිධ රාජකාරී සහිත ග්‍රාම නිලධාරී සේවාව සඳහා සේවා ව්‍යවස්ථාවක් නොමැති වීමේ ගැටලුව 1961 සිට පැවතුණා. අපි මේ ප්‍රශ්නයට විසඳුම් ලබාදෙන්න අවශ්‍ය සියලු කටයුතු සම්පූර්ණ කරලා තිබෙනවා. ග්‍රාම නිලධාරීවරුන්ගේ වෘත්තීය සමිති සියල්ල සමග සාකච්ඡා කරලා ඔවුන්ගෙන් සේවා ව්‍යවස්ථාවක් සඳහා යෝජනා එකතු කරලා විශේෂ කමිටුවක් මගින් සේවා ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරලා තිබෙනවා. ළඟදීම මේ කෙටුම්පත් කරපු සේවා ව්‍යවස්ථාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරනවා. ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ස්ථාපිත කළාට පසු මේ සේවයේ ගැටලු බොහොමයක් විසඳාගැනීමට හැකියාව ලැබෙනවා. 

    සේවා ව්‍යවස්ථාවක් නොමැති වීම හේතුවෙන් වැටුප් විෂමතා ගැටලු පවා මතුවී තිබුණා . එමෙන් ම ග්‍රාම නිලධාරීන් ශ්‍රේණිගත කිරීමේදී හා උසස්වීම් ලබාදීමේ දී ඇතිවන ගැටලු දසේවා ව්‍යවස්ථාවක් සකස් කිරීෆමන් නිරාකරණය වන බව ද ග්‍රාම නිලධාරී සේවය වඩාත් කාර්යක්ෂම වන බව ද අමාත්‍යවරයා පැවසීය.

    ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන රුපියල් එක් කෝටි හැට ලක්ෂයක් (රු.16,000,000.00) වැයකර ඉදිකරන ලද ''නිල සෙවණ'' කාර්යාල අටක් එදින ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

    ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ සහකාර සහ සමෘද්ධි නිලධාරී යන ක්ෂේත්‍ර නිලධාරීන් සිව් දෙනා වෙනුවෙන් සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයක ම රුපියල් ලක්ෂ 20ක වියදමින් ''නිල සෙවණ'' කාර්යාලය බැගින් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya