විශේෂයෙන් අර්තාපල් අස්වනු නෙලා ගැනීමට මාසයකට පමණ පෙර සිටම ආනයනයකරුවන් විසින් විදෙශීය අර්තාපල් තොග මෙරටට ගෙනැවිත් ගබඩා කර තබා ගැනීම මගින් දේශීය නිෂ්පාදන කුණු කොල්ලයට මිල දී ගැනීමට පුරුදු වී සිටියහ.
කෙසේ වුවද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා දේශීය ගොවීන් සමග කළ සාකච්ඡාවල ප්‍රතිපලයක් වශයෙන් දේශීය අර්තාපල් අස්වනු නෙලා ගැනීමට මාස එකහමාරකට පෙර ආනයනික අර්තාපල් කිලෝවකට රුපියල් 40ක තීරුබද්දක් පැනවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගත්තේය. ඒ අනුව මේ වනවිට දේශීය අර්තාපල් අස්වනු නෙලා ගන්නා අතර දැනට දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 140- 160 දක්වා මුදලකට දේශීය ගැනුම්කරුවන් විසින් මිල දී ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශයට වාර්තා වී තිබේ.
ඒ අනුව මේ වනවිට දේශීය අර්තාපල් ගොවීන්ට තම නිෂ්පාදන සඳහා මෙතෙක් ඉතිහාසයේ ලැබුනු ඉහළම මිල ලැබී ඇති බව එම ගොවීහු කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම් දී තිබේ. අර්තාපල් අස්වනු නෙලාගැනීම ආරම්භක අවස්ථාවේ සිටම ඉහළ මිලක් ලැබීම නිසා ඔවුන් සතුටට පත්ව සිටින අතරම, වැඩිපුර අර්තාපල් අස්වුන්න ලැබනුත් දේශීය අර්තාපල් කිලෝවක ගැනුම් මිල රු. 100-120 දක්වා අතර මැදි තත්ත්වයක පවතිනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරති.
මේ අන්දමින් සහල් ආනයනය අවම කිරීම සඳහා ශත 25ක් ව තිබු බද්ද රුපියල් 70 දක්වා වැඩිකර ඇති අතර එමගින් දේශීය වී ගොවියාට ඉහළ මිලක් ලබා දීම රජයේ අරමුණ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. දැනට යල කන්නයේ වී වගාවේ ද අස්වනු නෙලා ගන්නා අතර වී අලෙවි මණ්ඩලය විසින් රු. 38ට හා රු. 41ට වශයෙන් වී මිල දී ගැනීම නිසා පුද්ගලික අංශයේ වී මිල දී ගන්නන් විසින් වී කිලොවක් වී මණ්ඩලය විසින් ගෙවන මුදලට වඩා රුපියල් 10ක් පමණ වැඩිපුර ගෙවා ගොවීන්ගෙන් වී මිල දී ගනිති.
කෙසේ වුවද දේශීය ගොවියා ආරක්ෂා කිරීමට රජය විසින් මෙම පියවර ගන්නා බව ප්‍රකාශ කරන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරියේ දී බඩඉරිගු සහ ලූනු සඳහා ද මෙවැනි පියවරක් අනුගමනය කරන බව පවසයි. රජයේ එකම අපේක්ෂාව දේශීය ගොවියා ශක්තිමත් කර, ඔවුන් තවදුරටත් වගාවට උනන්දු කරවීම බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි