ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය තුළ විද්වතුන් 1050කට ආසන්න ප්‍රමාණයක් විවිධ අංශවල පර්යේෂණ සිදු කරති. ඉන් 750ක් පමණ කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවට අනුබද්ධවත්, තවත් 300ක් පමණ විද්වතුන් පිරිසක් විශ්ව විද්‍යාලවලටත් එම පර්යේෂණ කටයුතුවල නිරතව සිටිති. කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව විසින් කෘෂි පර්යේෂණ උදෙසා වාර්ෂිකව වැය කරන මුදල රු.මි. 7000ක් ඉක්මවයි. නමුත් විශ්ව විද්‍යාල තුළ ඒ සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වැය කරති.එම නිසා කෘෂි අංශය තුළ සිදු කරන පර්යේෂණ සියලුදෙනා එක්වී සිදු කිරීමේ අවශ්‍යතාව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා අවධාරණය කළේ ය.
(23) දින පෙරවරුවේ ගන්නොරුව කෘෂි තාක්ෂණික තොරතුරු මධ්‍යස්ථානයේ දී මෙරට සියලුම විශ්ව විද්‍යාලවල කෘෂිකර්මය පිළිබඳ අචාර්ය මහාචාර්යවරු සහ කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ විද්‍යාඥයින් සමඟ සාකච්ඡාවක් පැවැත්විණි. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍ය අංගජන් රාමනාදන් මැතිතුමා , අමාත්‍යාංශයේ ලේකම් බී.විජයරත්න මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා, අංශ දෙකකට බෙදී සිදු කරන පර්යේෂණවල ප්‍රතිඵල නිසි පරිදි ගොවිජනතාවට නොලැබෙන බවත් මෙරට කෘෂිකර්මාන්තයේ සංවර්ධනයට එම පර්යේෂණ යොදාගැනීම පිළිබඳවත් අවධානය යොමු කිරීමට කාලය එළඹ ඇතැයි කීය.මින් දශක දෙකකට පෙර මෙරට දළ දේශීය නිෂ්පාදනය සඳහා කෘෂිකර්මාන්තයේ දායකත්වය 27%කි නමුත් 2017 වනවිට 7.7% දක්වා පහළ ගියේ ය. වත්මන් රජය තුළ ගත වූ වසර දෙකක කාලයේ දැඩි නියඟයක් පැවතීම හේතුවෙන් මෙරට වී නිෂ්පාදන 40%කිනුත් අනෙකුත් නිශ්පාදන 30%කිනුත් පහත වැටිණි.මෙවැනි සියලුම කරුණු කෘෂිකර්මාන්තය පහත වැටීමට හේතු වූ බව අමාත්‍යවරයා කීය.
එම නිසා කෘෂි පර්යේෂණවල නිරතවන ආචාර්ය මහාචාර්යවරුන්ට ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන හා දීමනා ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශයට හැකි බවත්, ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ අභිමතය පරිදි ඉදිරිපත් කරන අදහස් හා යෝජනා අනුව අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කර ඊට අනුමැතිය ලබා ගන්නා බව ද ඇමතිවරයා සඳහන් කළේ ය.
විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයේ කෘෂිකර්මය පිළිබඳ විද්වතුන් සියලුදෙනා එකට එක්ව කටයුතු කිරීම පිළිබඳ අදහසට තම එකඟතාවය පළ කළේ ය.හැමවිටම රටේ අභිවෘද්ධිය උදෙසා තම දැනුම හා ඥානය ලබා දීමට පියවර ගන්නා බව ද එම විද්වතුන් අවධාරණය කළේ ය.