ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    සෞඛ්‍ය ව්‍යාපාරයක් පමණක් නොව සේවාවක්- මිල නියාමන ගැසට් පත්‍රය ඉදිරි සතියේ දී

    අගෝස්තු 28, 2018

    සෞඛ්‍ය යනු වෙළෙද ව්‍යාපාරයක්ම පමණක් නොව සේවාවක් ද විය යුතුයි. පෞද්ගලික රෝහල්වල මිල නියාමනය කිරීමේ ගැසට් පත්‍රය ද ඉදිරි සතියේ දී නිකුත් කරනවා යැයි සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    සණස ව්‍යාපාරයේ 40 වන සංවත්සරය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රගහලේ දී  පැවැත්විනි. මෙහිදී නව මුහුණුවරකින් සණස ලාංඡනය එළිදැක්වීම, සණස ග්‍රන්ථ එළිදැක්වීම, සණස සේවක උපහාර පිරිනැමීම සහ සණස සමරු මුද්දරය නිකුත් කිරීම සිදු විය.
     
    මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා -
     
    සමූපකාර ව්‍යාපාරය අද්විතීය සේවාවක් ඉටු කරනවා. සණස ව්‍යාපාරය සිය 40 වන සංවත්සරය සමරනු ලබන්නේ අභිමානයෙන් යුතුවයි. කාන්තා බැංකුව, සමෘද්ධි ව්‍යාපාරය සහ සර්වෝදය ව්‍යාපාරය සමූපකාර ව්‍යාපාර ලෙස රටට වැඩදායි සේවාවාවක් ඉටු කළා. සමූපකාර ව්‍යාපාරය බිහි වූයේ කාර්මික විප්ලවයත් සමගයි. එම විප්ලවය තුලින් රැකියා අහිමිවූවන්ගේ බහුතරය කාන්තාවන්. ශ්‍රි ලංකාවේ සමූපකාර ව්‍යාපාරය බිහි වුයේ 1906 වසරේ දීයි. සරණ ව්‍යාපාරය 1978 වසරේ දී බිහි වුනා. එය අද වන විට දැවැන්ත වෘක්ෂයක් වෙමින් පීඩිත පන්තියේ ජනතාවට සේවය සළසනවා. මේ සදහා නායකත්වය ලබාදුන්නේ අචාර්ය පී.ඒ කිරිවන්දෙනිය මහතායි. සමූපකාර ව්‍යාපාරය තුල බැංකු නිර්මාණය කළාට සණස ව්‍යාපාරය ඉදිරියට ගෙන යා යුතුයි. නමුත් සණස බැංකු පද්ධතිය ධනපති පන්තිය කොටස් යෙදවීම නිසා වර්තමානය වන විට සණස ව්‍යාපාරයට ඇත්තේ සියයට 30 ක කොටසක් බව නිර්මාතෘ කිරිවන්දෙනිය මහතා ප්‍රකාශ කළා. සමූපකාර ව්‍යාපාරය ඇතැම් ජීවන ප්‍රශ්න වලට තිබෙන හොදම විසදුමයි. සමාජවාදයට විකල්පයක් ලෙස මෙවැනි ව්‍යාපාර බිහි වෙනවා. සණස ව්‍යාපාරයත් බිහි කළේ සමාජවාදී දර්ශණය ඇති නායකයෙක්.
     
    වාමාංශික චින්තනය දරන නායකයින් ධනපති ව්‍යාපාරයට එරෙහිව සමූපකාර ව්‍යාපාරය ගොඩනංවනවා. ඇතැම් විග්‍රහවලින් රට වෙනස් වන්නේ නැහැ. චින්තන වෙනස් වන්නේ නැහැ. මේ ගැන කාල්මාක්ස් මතයක් ඉදිරිපත් කර තිබෙනවා. ලෝකයෙන් තුනෙන් දෙකක් කාල්මාක්ස්ගේ දර්ශණයට අවනත වුනා. තාක්ෂණය, විද්‍යාව, සන්නිවේදනය දියුණුවත් සමග කාල්මාක්ස්ගේ දර්ශණයට මුහුණ දෙන්න බැරි වුනා. අපි මේ වන විට එක්තාරා සන්ධිස්ථානයකට පැමිණ තිබෙනවා. ඉදිරිය පිළිබද අධ්‍යයනය කළ යුතුයි. රටේ තිබූ වැරදි දේශපාලනය බල තණ්හාව මත ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා. සත්‍ය ප්‍රකාශ කළ යුතුයි. බොරු කියනවා නම් ප්‍රගමනයක් නැහැ. සුමට ගමනක් නැහැ. දුක්විද රටවල් නිර්මාණය කළ යුතුයි. විප්ලවය අපිරිසිදු බව ලෙනින් පවා ප්‍රකාශ කළා. නමුත් විප්ලවයෙන් පසු පාරිශූද්ධ ලෝකයක් ඉදිරියේ දී නිර්මාණය වනවා. රටවල් වෙනස් කළ යුතුයි.
     
    ඒ සදහා කැපවිය යුතුයි. අපේ රට තුල ද සාමය සමාදානය ඉතාම වැදගත්. එම නිසා තමයි උතුරේ සිට දකුණ දක්වා සණස ව්‍යාපාරය බිහි වන්නේ. විශ්වීය මිනිසා බිහි කළ යුතුයි. ජාති, ආගම්, කුල භේද ව්‍යාපාරයකට වැඩක් නැහැ. 1948 වසරේ දී අපි නිදහස ලබාගත්තා. සියලු ජාතීන් එකතු වෙලා තමයි නිදහස ලබාගත්තේ. නිදහසේ පියා පසුකාලීනව ප්‍රකාශ කළා නූතන ශ්‍රී ලංකාවේ බිහි වූ ශ්‍රේෂ්ඨතම ශ්‍රී ලාංකිකයා පොන්නම්බලම් රාමනාදන් මහතා කියලා. නිදහසේ පණිවිඩය තම සපත්තුව තුල සගවා ගෙන එංගලන්තයට ගියේ කිතුණුභක්තිකයෙක්. ජිවිතාරක්ෂාව පවා නොතකා එම කිතුණු භක්තිකයා එංගලන්තයට ගියා. අපි එකතු වෙලා සටන් කිරීම තුලින් ජය ගන්න පුළුවන්. බෙදිම තුලින් පරාජය හිමි වෙනවා. මේ නිසා තමයි තරුණ කැරළි, යුද්ධය ඇති
    වුනේ. ජාතියක් ලෙස අපි ලැඡ්ඡා විය යුතුයි. මේ පුංචි දූපත බෙදා ගැනීමට නොහැකිව සටන් කළා. අදත් බෙදුම්වාදය ගැන කථා කරනවා. සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසදා ගන්න පුළුවන්. ජාතිවාදය මුල්කර ගනිමින් කථා කිරිම තමයි අපට වැරදුන තැන. 2015 වසරේ දී විදුලිපුටු, දේශප්‍රේමය ගැන කථා කරද්දී නව දේශයක් බිහි කිරීමේ අරමුණින් වත්මන් රජය බිහි කළා. එය නිවැරදි තීන්දුවක්. අන්තවාදී බලවේග පරාජයට පත් වුනා. අපේ ගමනට සමහරු එකතු වූයේ වෙනසකට පමණයි. ඇතැම් අය විවිධ හේතු නිසා එකතු වුනා. නමුත් කොටසක් අවංකව නායකත්වය ලබාදුන්නා. සුදුවෑන් සංස්කෘතිය, උතුරේ භීෂණය, මුස්ලිම් ජනතාවට සිදු කළ බලපෑම් අපි නැති කළා. විවිධ පාඩු සිදු වුනා. නමුත් එවැනි ක්‍රියාකාරකම් සිදු නොකර රටක් නිර්මාණය කරන්න බැහැ. සමාජ විප්ලවය ගැන අවබෝධයක් නොමැති පිරිසකුත් ඒ අතර හිටියා. නමුත් සමාජ ප්‍රගමනය ඉදිරියට ගියා. සෑම වෙනසක්ම පාරිශුද්ධභාවයෙන් සිදු වෙන්නේ නැහැ. ගමන යනවිට සිදුවන වැරදි නිවැරදි කරමින් ඉදිරියට ගමන් කරනවා. කැපවීම ඉතා අවශ්‍යයි. වමේ නායකයින්ගෙත් වැරදි තිබුනත් මම ඔවුන්ට ගරු කරනවා. අපි අතින් වැරදි වෙලා තිබෙනවා.
     
    අන්තවාදය පසුගිය කාලයේ වර්ධනය වුනා. වසර 30 ක කාලයක් යුද්ධයක් පැවැතුනා. එය නිමා කිරීමට නායකත්වය ලබාදුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, සරත් ෆොන්සේකා, වසන්ත කරන්නාගොඩ වැනි නායකයින්. එම යුද්ධය නිමා කිරීමට මමත් සහයෝගය ලබාදුන්නා. ත්‍රස්තවාදය නිමා කිරීමටයි අපි සහයෝගය ලබාදුන්නේ. මම ආසා කළ දේශපාලනඥයා තමයි බණ්ඩාරනායක මහතා. සිංහලකම, නායකත්වය ගැන ඔහු කථා කළා. සන්නිවේදන තාක්ෂණය ඉදිරිපිම්මක් පැන තිබෙනවා. සන්නිවේදනය භාවිත කළ යුතුයි. නිදහස යනු සිතීම පමණක් නොව අනෙකුත් සියලුම නිදහස ලබාදිය යුතුයි. දරිද්‍රතාවය නැති කිරීමේ නිදහසත් ලබාදිය යුතුයි. අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය, ලබා දිය යුතුයි. ඖෂධ සමාගම්වල බලපෑම් මත අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කළා. තවත් දින කිහිපයකින් ඖෂධ වර්ග 26 ක මිල අඩු කරනවා. සෞඛ්‍ය යනු වෙළෙද ව්‍යාපාරයක්ම පමණක් නොව සේවාවක් ද විය යුතුයි. පෞද්ගලික රෝහල්වල මිල නියාමනය කිරීමේ ගැසට් පත්‍රය ද ඉදිරි සතියේ දී නිකුත් කරනවා. මම ප්‍රායෝගික අත්දැකීම්වල සිටිමින් තමයි කථා කරන්නේ. එක ප්‍රතිපත්තියක අපි සිටිය යුතුයි. ඩොලර් බිලියන එකහමාරක වත්කමක් සතු සණස ව්‍යාපාරය ගොඩනැංවීම අපට ආදර්ශයක්. ඒ ආකාරයට රට ගොඩනැගීමට අපට බැරි ඇයි.
    මෙහිදීසෞඛ්‍ය අමාත්‍යවරයාට විශේෂ සමරු තිළිණයක් සණස ව්‍යාපාරයේ සභාපතිවරයා විසින් පිරිනමන ලදි.
     
    සණස ව්‍යාපාරයේ සභාපති අචාර්ය පි. ඒ කිරිවන්දෙනිය මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, දේශපාලන විචාරක මොහාන් සමරනායක මහතා ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya