ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    මව්කිරි ප්‍රවර්ධනය කරමින් මව්කිරි දීමේ වැදගත්කම ගැන පැහැදිළි කරයි

    අගෝස්තු 29, 2018

    මව්කිරි දීම ප්‍රවර්ධනය කිරීම සහ රැකියාවේ යෙදෙන මව්වරුන් පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් අද(29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත් විණි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ පෝෂණය නංවාලීම සඳහා වන සිවිල් සමාජ සංසදය එක්ව මෙම වැඩමුළුව සංවිධානය කර තිබිණි.

    විද්‍යාත්මක වශයෙන් දරුවන්ට මව්කිරී ලබා දීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රාජකාරි කටයුතු වල නිරත වන මව්වරුන් මුහුණ දෙන ගැටළු සහ කම්කරු නීතිමය අයිතිවාසිකම් , මාතෘ හා ළමා අධ්‍යාපනය යන ක්ෂේත්‍රයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණි.

    වර්තමානයේ බොහොමයක් පුද්ගලයන් වැඩි පුර පෙළෙන බෝ නොවන රෝග රැසකට හේතුව පිටිකිරි වර්ග භාවිතා කිරීම බව පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රීනී වි‍ශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, වකුගඩු ආශ්‍රිත රෝග වලට ප්‍රතිකාර කිරීම සඳහා වාර්ෂිකව රජය විශාල මුදලක් වැය කරන බවද සඳහන් කළාය.

    ගුණාත්මක පරපුරක් රටට බිහිකිරීම රටට කරන ආයෝජනයක් බව පැවසූ එතුමිය දරුවන්ගේ ගුණාත්මක රැකවරණය තුළින් අනාගතයේදී අපට ප්‍රතිලාභ රැසක් ලැබෙන බව පැවසුවාය .මුල් ළමා විය සංවර්ධනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් හදන මෙහෙයුම වෙනුවෙන් වත්මන් රජය කැප වී සිටින බවද ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

    බහු ජාතික සමාගම් තමන්ගේ නිෂ්පාදන අලෙවි කිරීම සඳහා උපායශීලී වී ඇති මුත් ජනමාධ්‍යයේ කාර්යභාරය වන්නේ මෙම මව්කිරි වල වැදගත්කම මව්වරන්ට අවබෝධ කරදීම බවද මේ අවස්ථාවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තුසිතා විජේමාන්න මහත්මිය පැවසුවාය.

    ගුණාත්මක පෙර පාසල් අවධියක් තුළින් රටට ලැබෙන වාසිය ජනතාවට පැහැදිලි කර දිය යුතු බව පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රිනිය,එම ගුණාත්මක රැකවරණය හරහා අපට ප්‍රතිලාභ රැසක් ලැබෙන බව වැඩිදුරටත් සඳහන් කළාය. මව්කිරි දීමේ වැදගත්කම ගැන පැහැදිළි කළ කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ නව ජන්ම ඒකකයේ විශේෂඥ වෛද්‍ය නිශානි ලූකස්‌ මහත්මිය දරුවන්ගේ මොළේ වර්ධනයට දරුවාට වයස අවුරුදු 02 දක්වා මව්කිරි දීම අත්‍යවශ්‍ය බව පැවසුවාය.

    පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය හිරන්‍යා ජයවික්‍රම මහත්මිය පැවසුවේ මව් කිරි දෙන මව්වරුන් සිටින රටවල් අතර දර්ශකයේ ශ්‍රී ලංකාව ඉහළින්ම සිටින බවත් ඒ තත්වය තව දුරටත් ඉදිරියට ගෙන යෑම සඳහා සමාජය දැනුම්වත් කිරීම අත්‍යාවශ්‍ය බවත්ය.

    මේ වසරේ මැයි මාසයේ සිට උපදින තුන් වන දරුවාටද දින 84 ක වැටුප් සහිත ප්‍රසූත නිවාඩු රාජ්‍ය අංශයට මෙන්ම පෞද්ගලික අංශයටද හිමි වූ බව මේ අවස්ථාවට එක් වූ කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු කොමසාරිස් (කාන්තා හා ළමා කටයුතු ) එම්.එන්.ගුණවර්ධන මහත්මිය පැවසුවාය. වතුකරයේ සේවය කරන දමිළ මවක් සහ, මහරගම ප්‍රදේශයේ තම මිණිබිරියව රැක බලා ගන්නා මවක් මෙම වැඩමුළුවට එක් වෙමින් මාධ්‍යෙව්දීන් ඉදිරියේ තම අදහස් පළ කර සිටියාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya