2019 වසර සඳහා උතුරේ සංවර්ධන කටයුතු පිළිබඳ සැලසුම් සියල්ල දැනටමත් උතුරු පළාතේ රජයේ නිලධාරින් සකස්කර අවසන් කර තිබෙනවා. අයවැය ලේඛනයෙන් පස්සේ මුදල් ලැබුණාම ඒ අයට තියෙන්නේ වැඩකටයුතු පටන්ගන්න විතරයි. නමුත් දකුණේ තත්ත්වය කොහොමද? දකුණේ එක දිස්ත්‍රික්කයකටවත් 2019 අවසන් කළ යුතු කටයුතු පිළිබඳ සැලසුම් හදලා තියෙනවද? මං දන්න විදිහට නම් එහෙම සූදානමක් තාමත් නැහැ. දකුණේ බොහෝ නිලධාරින් බලාගෙන ඉන්නේ, අයවැයෙන් මුදල් ලැබුණට පස්සේ වැඩකටයුතු අරඹන්න. නමුත් උතුරු පළාතේ නිලධාරින් කැපකිරීමෙන් වැඩ කරන පිරිසක් අපිට දකුණෙත් ඉන්නවා නම්, මේ රට සංවර්ධනය කිරීම අසීරු කාරණයක් නොවේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේ, (29)දින සැමරුවේ ලංකා පොහොර සංස්ථාවේ සුබසාධක සංගමයේ උත්සවයකට සහභාගී වෙමිනි. මෙම උත්සවය වත්තල, හුණුපිටියේ පිහිටි ලංකා පොහොර සමාගමේ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි. එහිදී දීර්ඝ කාලයක් එම සමාගමේ සේවය කළ නිලධාරින්ට සම්මාන, උපහාර තිලිණ පිරිනැමීම ද අමාත්‍යවරයා අතින් සිදු කෙරිණි. මෙම අවස්ථාවට ලංකා කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය අංගජන් රාමනාදන් මහතා ද පොහොර සමාගමේ සභාපති අමරානන්ද අබේගුණසේකර මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා ලංකා පොහොර සමාගම තවමත් ලාභ ලබන ආයතනයක් නොවේ. එයට හේතුව ඔබ සමාගමෙන් බෙදා හරින්නේ රු.500ට ලබාදෙන පොහොර කොමර්ෂල් පොහොර සමාගමටත්, ලංකා පොහොර සමාගමටත් ලාභ ලැබීමට නම් මිශ්‍ර පොහොර අලෙවි කිරීමේ අවස්ථාව ලබාදිය යුතු ය. ලබන වසර වනවිට අපි රජයට අයත් මෙම පොහොර සමාගම් දෙක මඟින් මිශ්‍ර පොහොර අලෙවි කිරීමට පියවර ගන්නවා. එවිට ඔබටත් ලාභ ලබන තත්ත්වයට පත්විය හැකි වේවි.
ගිය සතියේ මට වාර්තාවක් ලැබුණා. ඒක ලැබුණේ පොහොර ලේකම් කාර්යාලයෙන් සහනාධාර වශයෙන් ලබාදෙන පොහොර බෙදාහැරීමේදී යම් යම් අක්‍රමිකතා සිදුවන බව ඒ වාර්තාව සඳහන් කළා. මං බැලුවා, ලංකාවේ වැඩියෙන්ම අක්‍රමිකතා සිදු වන්නේ කුමන දිස්ත්‍රික්කයේ ද කියලා. වැඩිපුරම අක්‍රමිකතා වාර්තා වන්නේ අම්පාර දිස්ත්‍රික්කයෙන්. එකම අක්‍රමිකතාවයක්වත් වාර්තා වී නැත්තේ යාපනය දිස්ත්‍රික්කයෙන්. යාපනය දිස්ත්‍රික්කයේ එකම කෘෂි පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරියෙක්වත් නැහැ. සමහරවිට ඒකද දන්නේ නැහැ අක්‍රමිකතා නොමැතිවීමට හේතුව. ඒ කොහොම වුණත් අපිට කාර්යක්ෂම රාජ්‍ය සේවකයින් පිරිසක් අවශ්‍යයි. එවැනි පිරිසක් හිටියොත් පමණයි මේ සංවර්ධන කටයුතු වේගයෙන් ඉදිරියට ගෙන යා හැක්කේ. ලංකා පොහොර සමාගමේ සේවය කරන කාර්යය මණ්ඩලය වේගවත්ව වැඩකළොත් මෙම ආයතනය ශක්තිමත් ආයතනයක් වේවි. එය ඔබේ වගකීමක් බව ද ඇමතිවරයා සඳහන් කළේ ය.