දැනට අපේ රටේ තිබෙන පුරන් කුඹුරු ප්‍රමාණය 1,40,000 කි. නමුත් ඉන් කුඹුරු 1,14,000ක්ම වගා කළ හැකි ඒවා ය. පසුගිය වසරේ කුඹුරු අක්කර 26,000ක් වගා කිරීමට පියවර ගනු ලැබී ය. නමුත් තාමත් වගා කළ හැකි කුඹුරු විශාල ප්‍රමාණයක් පුරන් වීමට ඉඩහැර ඇත.
ඊළඟ මාස් කන්නය වන විට මෙම සියලු පුරන් කුඹුරු අස්වැද්දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවත් එක්ව විධිමත් වැඩපිළිවෙලක් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.
පසුගිය දා ගන්නෝරුව ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ ශ්‍රවනාගාරයේ දී විශේෂ සාකච්ඡාවක් අමතමින්, අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.
එහි දී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙම පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා ඊට කැමැත්ත දක්වන තරුණයින්ගේ සහයෝගය ලබා ගන්නා අතර ශ්‍රී ලංකා යුද හමුදාව ද, සිවිල් ආරක්ෂක බලකාය යොදා ගනිමින් එම පුරන් කුඹුරුවල වී පමණක් නොව වගා කළ හැකි සෑම අතුරු බෝගයක්ම වගා කරන බව අවධාරණය කළේ ය.
බොහෝ පුරන් කුඹුරු පුරන්වීමට ඉඩහැර ඇත්තේ, ඒවායේ අයිතිකරුවන් විවිධ හේතූන් දක්වමිනි. එම කුඹුරු අයිතිකරුවන් හිතිමතාම කුඹුරු අස්වැද්දීම පැහැර හරින්නේ නම්, ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යවරයා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අවධාරණය කළේ ය. මේ සම්බන්ධයෙන් දැනටමත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් එම ඉඩම් අයිතිකරුවන්ට සිහි කැඳවීමේ නිවේදන පවා නිකුත් කර ඇත.
මෙවර යල කන්නයේ දී අම්පාර හා පොළොන්නරුවේ කුඹුරු අක්කර ප්‍රමාණයක් කීඩෑ උවදුරට ලක් වුණත්, ලැබෙන අස්වැන්න ඉහළ මට්ටමක පවතී. මොරගහකන්ද කළුගඟ ජලාශ මඟින් අඛණ්ඩව ජලය ලබා දීම නිසා ලබන වසරේ දී වී අස්වැන්න අනිවාර්යයෙන්ම ඉහළ යන බව සඳහන් කළ අමාත්‍යවරයා සහල් අතිරික්තයක් පවා ඇතිවිය හැකි බව ද කීය.