සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා මේ බව පැවසුවේ බේකරි හිමියන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා, පාරිභෝගික අධිකාරියේ හා අමාත්‍යාංශ නිලධාරීන් සමග අමාත්‍යාංශයේදී සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේදීය.
පසුගිය දා රු. 5.00 කින් වැඩි කරන ලද පාන් පිටි මිල යළිත් පෙර පැවති මිලටම අලෙවි කිරීමට කටයුතු කරන ලෙස, පාන් පිටි ආනයනය කරනු ලබන ප්‍රධාන සමාගම් දෙකට ලිඛිතව දන්වා යැවීමට පාරිභෝගික කටයුතු අධිකාරිය මේවන විටත් පියවර ගෙන තිබේ. එසේම පාරිභෝගික කටයුතු අධිකාරියේ පූර්ව ලිඛිත අනුමැතියකින් තොරව තිරිඟු පිටි කිලෝවක මිල රු.5.00 කින් ඉහළ දැමීමට එරෙහිව අදාළ නිශ්පාදකයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නොපමාව ඉදිරියේදී කටයුතු කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
මෙහිදී අමාත්‍යවරයා පාරිභෝගික කටයුතු අධිකාරියට නියම කරනු ලැබුවේ පාන්පිටි මිල රු. 5.00 කින් හිතුමතේ වැඩි කරන ලද සමාගම් දෙකට යළිත් පෙර පැවති මිලටම පාන්පිටි අලෙවි කරන ලෙස ලිඛිතව දන්වා යවන ලෙසයි. ඒ අනුව පන් පිටි මිල අඩු කිරීමට පියවර ගන්නා බවත්, එසේ අඩු කළහොත් පාන් ගෙඩියේ මිලද රු. 5.00 කින් අඩු කරන ලෙසත්, අනකුත් බේකරි නිෂ්පාදන පෙර පැවති මිලටම අලෙවි කර ජනතාවට සහනයක් සලසන ලෙසත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉල්ලා සිටිනු ලැබීය.
මෙහිදී අදහස් දක්වමින් කතා කළ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා මෙසේ පැවසීය.
" එතුමා අපිට ඉහළ දැමූ පාන්පිටි මිල එම සමාගම් සමග සාකච්ඡා කරලා නැවත පෙර පැවති මිලටම අරන් දෙන්නම් කියලා කිව්වා. පසුගියදා රු. 5.00 කින් ඉහළ දැමුනු පාන් ගෙඩියක මිල නැවත අඩු කරන්න කියලා අපි ඇමතිවරයාට පොරොන්දු වුණා, පාන් ගෙඩියේ මිල අඩු කරනවා කියලා. ඒ වගේම අපි බේකරි කර්මාන්තයේදී මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන්ද එතුමා අපි සමග ඉතා සුහදශීලිව කතා කළා. ඒ සම්බන්ධයෙන් ඒතුමාගේ අවධානය යොමු වීම ගැන අපි එතුමාට ස්තූතිවන්ත වෙනවා." යැයි පවැසීය.