කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නිල නිවස පිහිටි ගෙවත්තේ අස්වනු නෙලීම ඊයේ (20) දින පෙරවරුවේ සිදු කරනු ලැබීය. කෘෂිකර්ම අමාත්‍යවරයාගේ නිල නිවස පිහිටා ඇත්තේ කොළඹ නගරාසන්‍නයේ ය. ඉතා සීමිත ඉඩකඩක වුවත් ඉතා හොඳින් උඩරට සහ පහතරට එළවළු වර්ග රැසක් ඉතා සාර්ථකව අමාත්‍යවරයාගේ ගෙවත්තේ වගා කර තිබිණි. ගෝවා, මල්ගෝවා, බණ්ඩක්කා, මාළුමිරිස්, වම්බටු, මිරිස්, තක්කාලි, රාබු, නෝකෝල්, බීට්රූට්, දඹල, සලාද කොළ, කිරිඅල, තිබ්බටු ආදි සෑම එළවළු විශේෂයක්ම ඇමතිවරයාගේ ගෙවත්තේ වගා කර තිබීම සුවිශේෂී විය.
ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සහ වියළි කලාපයේ ඉබේ වැවෙන ඉතාමත් පෝෂ්‍යදායී එළවළුවක් වන දුර්ලබ ආලංගා නමැති එළවළු විශේෂය මෙම අවස්ථාවට සහභාගී වූ මාධ්‍යවේදීන්ට පෙන්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, “ආලංගා” නමැති මෙම එළවළු විශේෂය මේ වන විට අපේ රටේ තුරන් වෙමින් තිබෙන ශාඛයක් බවයි. අනිසි ලෙස රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතය නිසා ආලංගා ශාඛය අපේ රටේ තුරන් වෙමින් තිබෙන නිසා එය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙහි වගාකළ බව ද අමාත්‍යවරයා කීය.
මාධ්‍යවේදීන් අමතමින් අදහස් පලකළ අමාත්‍යවරයා - “ අද අපි කන්නේ, අපි වවලා නොවේ. අද අපිට කන්න වෙලා තියෙන්නේ ඉන්දියාව, බංගලාදේශය වැනි රටවල් වවන දේවල් මේ රටට ආනයනය කිරීම මඟින්. නමුත් අපිට අවශ්‍ය දෑ අපිම වවාගනිමින් පරිභෝජනය කිරීමේ වැඩපිළිවෙලක් අපි කෘෂිකර්ම අමාත්‍යාංශය වශයෙන් ආරම්භ කළා. ඒ යටතේ ශ්‍රී ලංකාවේ ගෙවතු ලක්ෂයක් ස්ථාපිත කිරීම මගේ ඉලක්කයයි. ”
“ සමහරු කියනවා නාගරිකව වගා කරන්න බැ කියලා. ඒක මිථ්‍යා විශ්වාසයක්. අවශ්‍යතාවය තියෙනවා නම්, තමන්ට අවශ්‍ය දේවල් තම ගෙවත්තේම වගා කරගන්න පුළුවන්. ඒ බව මම මගේ ගෙවත්ත වගා කිරීම මඟින් පෙන්වා දී තිබෙනවා. මම කෘෂිකර්ම අමාත්‍යවරයා වීමටත් පෙර සිටම වගා කළා. වස විසෙන් තොර එළවළු මෙන්ම වී ගොවිතැනත් මම සිදු කළා. අද අපේ රටේ බොහෝ දෙනෙක් කියන්නේ අපිට වගා කරන්න ඉඩ මදි කියලයි.
නමුත් ඔබේ ගෙවත්තේ මල් පෝච්චි හතරක් පහක් තියෙනවා නම්, අඩුම තරමේ ඒකෙන් තුනකවත් මිරිස් පැළ දෙක තුනක්, වම්බටු ගස් දෙක තුනක් ඔබට වගා කර ගත හැකියි. කාබනික පොහොරම අවශ්‍ය නෑ. නමුත් රසායනික පොහොර වුණත් යෙදිය යුත්තේ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කරන ප්‍රමාණයට භාවිත කිරීම මඟිනුයි. එහෙම කළාම සාර්ථක අස්වැන්නක් ලබා ගන්න පුළුවන්.
ඒ නිසා සියලුදෙනාගෙන් මම ඉල්ලා සිටින්නේ තමන්ගේ ගෙවත්තේ කුමක් හෝ එළවළු දෙක තුනක් වගා කර ගන්න. එතකොට අපට අවශ්‍ය දේවල් අපිම වවාගෙන පරිභෝජනය කළ හැකියි ද අමාත්‍යවරයා කීය .