චීන විශේෂඥයින් පිරිසක් විසින් පසු අස්වනු තාක්ෂණය පිළිබඳව සිදු කරන ලද විමර්ශනයකට අනුව වනසතුන්ගෙන් වන වගා හානි නිසා වාර්ෂිකව අපේ රටේ වගා හානිවල වටිනාකම රුපියල් කෝටි 1800ක් පමණ වේ යැයි ගණන් බලා ඇත. එමෙන්ම සෑම වර්ෂයකදීම රටේ ශක්තිමත්ව වැඩකරන ගොවීන්ගෙන් 80කට වැඩි පිරිසක් වනඅලි ප්‍රහාරවලින් මියයන බව ද හෙළි වී ඇත.
එමෙන්ම මේ වන විට රට පුරා රිළා සහ වඳුරු උවදුර ඉහළ ගොස් ඇති අතර රිළවුන් සහ වඳුරන් ලක්ෂ 15ක් පමණ සිටින බවත්, රිළවුන් , වඳුරන් සහ දඬු ලේනුන් විසින් දිනකට පොල් ඇට්ටි සහ කුරුම්බා ගෙඩි ලක්ෂ 05-08ත් අතර ප්‍රමාණයක් විනාශ කරන බවත් හෙළි වී තිබේ.
මෙම කරුණු සැලකිල්ලට ගනිමින් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වන සතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා පාර්ශ්ව ගණනාවක් සමඟ සාකච්ඡා කළත්, මෙතෙක් තිරසාර විසඳුමක් ලබා ගැනීමට අපොහොසත් වී ඇත.
කෙසේ වුව ද ගොවීන්ගේ වගාවන්ට වන සතුන්ගෙන් සිදුවන හානිය පිළිබඳව තොරතුරු සෘජුවම ලබා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍යාංශයේ ලේකම් බී.විජේරත්න මහතාට උපදෙස් දෙමින් කියා සිටියේ, සතුන්ගෙන් සිදුවන වගා හානි පිළිබඳව ගොවීන්ගෙන් තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් අරඹන ලෙසයි. ඒ අනුව තමන්ට සිදු වී ඇති වගා හානිය පිළිබඳව සියලුම තොරතුරු ලිඛිතව ලබාදිය හැකි අතර එම තොරතුරු 011-2872094 යන අංකයට ෆැක්ස් පණිවිඩයක් මඟින් හෝ එම අංකයට දුරකථන පණිවිඩයක් මඟින් හෝ ලබා දිය හැකිය.