මාතර දෙයියන්දර අතපත්තු කන්දේ පදිංචි ආර්.එල් සෙහංසි දෙව්හාරා (වයස අවුරුදු 06) වලස්මුල්ල මෝදරවාන පදිංචි තමීනා සෙව්මදී (වයස අවුරුදු 3 ½) සහ කළුතර වස්කඩුවේ පදිංචි තරුලි දහම්සා (මාස 09) මෙලෙස සැත්කම් මුදල් ලබාගත් දරුවන් වෙයි. මෙරට සහ විදේශීය රෝහල්වල දී මෙම සැත්කම් සිදු කිරීමට නියමිතය.
මුදල් ප්‍රතිපාදන ලබාගැනීමෙන් පසු මාතර දෙයියන්දර අතපත්තු කන්දේ පදිංචි ආර්.එල් සෙහංසි දෙව්හාරා දැරියගේ පියාවන ආර්.එල් සුනිල් මහතා මෙසේ පැවැසීය. “මගේ දියණිය වන සෙහංසි අතපත්තු කන්ද කණිෂ්ඨ විද්‍යාලයේ 03 ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. ඇය තැලසිමියා රෝගයට ගොදුරුව ඇටමිදුලු බද්ධ කිරීමේ සැත්කමක් සිදු කිරීමට සිදුව තිබෙනවා. විශේෂඥ වෛද්‍ය ලලින්ද ගුණරත්න මහතා අපට දැනුම්දුන්නා මෙරට පෞද්ගලික රෝහලක දී එම ශල්‍යකර්මය සිදු කිරීම සදහා රුපියල් ලක්ෂ 80 ක් වැය වන බව.
රජය විසින් ඇටමිදුලු බද්ධ කිරීමේ සැත්කම් ආරම්භ කිරිම සදහා මහනුවර මහ රෝහලේ ගොඩනැගිල්ලක් මේ වනවිට ඉදිකරනවා. අපි අසරණ පවුලක්. ගෙවල් ගාණේ, පොලවල් ගාණේ ගිහිල්ලා ගමේ සියලු දෙනාම මුදල් එකතු කළා. දරුවාට දැනට මාතර මහ රෝහලෙන් ප්‍රතිකාර සිදු කරනවා.
ප්‍රදේශයේ මැති ඇමැතිවරුන්ගෙන් උදව් ඉල්ලුවත් පළක් වුනේ නැහැ. කොහොම හරි රුපියල් ලක්ෂ 64 ක් එකතු කළා. අපි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සුභාරතී වැඩසටහනට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැමිණි දවසක දුරකථනයෙන් කථා කරලා අපේ ගැටලුව දැනුම් දුන්නා. එතුමා ලිපියක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා. ඉන් පසු අපට අවශ්‍ය සෙසු මුදල ලබාදුන්නා. එම සතුට කියා නිම කරන්න බැහැ. පිං අයිති වෙනවා. අපි සෞඛ්‍ය අමාත්‍යතුමා, මාධ්‍යයෙන් නිතරම දකිනවා. ඒ දකින්නේ සැබෑ ස්වරූපය නොවෙයි. ඇත්ත ස්වරූපය අපි දැනගත්තේ දරුවාට උදව් කිරිම තුලින්. මිනිස්සු මේ ගැන දැනගත යුතුයි.”
ඉන් පසු අදහස් දැක් වූ වලස්මුල්ල මෝදරවාන පදිංචි තමීනා සෙව්මදී දැරියගේ පියා වන විශ්‍රාමික යුධ හමුදා නිලධාරියෙකු වන බී.එන් තිලකරත්න මහතා මෙසේ පැවැසීය. “මගේ දියණිය තැලසීමියා රෝගයෙන් පීඩා විදිනවා. අපි සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරලා රුපියල් ලක්ෂ 55 ක් සොයා ගත්තා. සැත්කමට රුපියල් ලක්ෂ 80 ක් වැය වනවා. මම මේ පිළිබදව ලංකාදීප පුවත්පතේ දැන්වීමක් පළ කළා. එම දැන්වීම දැකලා සෞඛ්‍ය අමාත්‍යතුමා මට දුරකථනයෙන් කථා කරලා කිව්වා සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇවිත් හමුවෙන්න කියලා. ඒ අනුව සෞඛ්‍ය සංවර්ධන අරමුදලෙන් මගේ දියණියගේ සැත්කම සිදු කිරිම සදහා අවශ්‍ය ඉතිරි මුදල ලබාදුන්නා. අසරණ රෝගී දරුවන්ට එය විශාල ශක්තියක්. මීට පෙර හිටපු සෞඛ්‍ය අමාත්‍යවරුන් මෙවැනි කටයුත්තක් සිදු කර නැහැ. සෞඛ්‍ය අමාත්‍යවරයා කළ මෙහෙවරට මම ස්තූතිය පුද කරනවා.”
ඉන් පසු අදහස් දැක් වූ කළුතර වස්කඩුව පදිංචි තරුලි දහම්සා දැරියගේ පියා වන ඩි.එල් රණුක සම්පත් මහතා මෙසේ පැවැසීය. “මගේ දරුවා අක්මා රෝගයෙන් පීඩා විදිනවා. ඉන්දියාවේ රෝහලකට ගොස් එම ශල්‍යකර්මය සිදු කළ යුතුයි. ඒ සදහා අවශ්‍ය මුදල රුපියල් ලක්ෂ 80 ක්. එය විශාල මුදලක්. දෛනිකව කූලි වැඩ කරලා ජීවත් වන අපට එවැනි මුදලක් සොයාගන්න බැහැ. අපි ටිකට් පොත් ගහලා රුපියල් ලක්ෂ 30 ක් විතර සොයා ගත්තා. ඉන් පසු සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කළා මෙම සැත්කම සිදු කිරීමට මැදිහත් වෙන්න කියලා. ඉන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සංවර්ධන අරමුදලෙන් ඉතිරි මුදල් ලබාදුන්නා. එම උපකාරයට මම ස්තූතිවන්ත වෙනවා. සෞඛ්‍ය අමාත්‍යතුමා කළ මෙහෙවර නිසා සැත්කම සිදුකර ගනිමින් දරුවා බේරා ගන්න පුළුවන්.”
දුප්පත්කම හේතුවෙන් අසරණ දරුවන්ට මරණය ලගා කර දීමට තමන් සුදානම් නොමැති බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙහිදී පැවැසීය. අසරණ රෝගීන්ගේ ඉල්ලීමට කන් දී ඔවුන්ට සේවාවක් සැලසීම තම අරමුණ බවත්, ඒ සදහා නිලධාරින් ද කැප විය යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සැත්කම් සදහා මුදල් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් කියා සිටියේය.