කඩා වැටුණු රාජ්‍ය ආදායමක් අපනයනයක් පමණක් නොව පහළ යමින් තිබූ ආර්ථික වර්ධන වේගයක් සමග භාර ගත් ආණ්ඩුව මේ වන විට සියලු අර්බුදයන්ට මුහුණ දෙමින් ශක්තිමත් වෙමින් පවතින බව අමාත්‍යවරයා කියා
සිටියි.
ඊයේ (09) සිරිකොත, එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.
“2015 ජනවාරි මස 8 වැනිදා අපට ලැබුණේ රාජ්‍ය මූල්‍ය කාල බෝම්බයක්. අද ඊයේ ඉපදුණ අතදරුවෝ වගේ විපක්ෂයේ අය කතා කරන නිසා මේ ගැන ටිකක් මතක් කරන්න ඕනෙ. 1990 දී 20%ක් වුණ රටේ ආදායමට සාපේක්ෂව රාජ්‍ය ආදායම 2014 දී 11.4% දක්වා කඩා වැටුණා. ඒ වගේ ම තමයි රාජ්‍ය ආදායම වාර්ෂික වැඩිවීම 2006 දී 25.8% සිට 2015 දී 5.1% දක්වා කඩාගෙන වැටුණා. ඒ විතරක් නෙවෙයි රාජ්‍ය ආදායමට වඩා රාජ්‍ය වියදම වැඩි වුණා.
අද ආර්ථිකේ ගැන කතා කරන මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා මුදල් ඇමැති කාලේ 2012 දී මාස තුනක් තුල රුපියල 14%කින් අවප්‍රමාණය වුණා. ඒක වලක්වා ගන්න බිලියන 4.1ක් වියදම් කළා. අපනයන අඩපණ වුණේ එතුමගේ කාලේ. 2000 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 33%ක් වුණ අපනයනය 2014 වෙද්දි 14%ට බැස්සුවා.
අපි මේ අර්බුදය වෙනුවෙන් වැයකරල තියෙන්නේ ඩොලර් මිලියන 250ක් විතරයි. ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වෙලා තියෙන්නේ 10%කින් විතරයි. අපි තමයි මේ අර්බුදයට හොඳින්ම මුහුණ දීල තියෙන රට. පකිස්තානය, ඉන්දියාව වගේ රටවල් අපට වඩා අර්බුදවල ඉන්නේ.
රුපියල කඩාවැටීම කියන්නේ ආර්ථිකය කඩා වැටීම නෙවෙයි. අපි ගමන් කරමින් ඉන්නේ අපනයන ආර්ථිකයක් කරා. මේ අර්බුදය හමුවේ ඉතාම පැහැදිලිව පේනවා අපි නිවැරැදි මාර්ගය ඔස්සේ ගමන් කරමින් සිටින බව. මේ සියලු දේ හමුවේ අපි සංවර්ධන අඩු කරලා නෑ. අධිවේගී මාර්ගවල කටයුතු කෙරෙනවා. බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගය අවසන් අදියරට ළගා වෙලා තියෙනවා.
ඉතිහාසයේ වැඩිම මුදලක් අපි ගම සංවර්ධනය වෙනුවෙන් වෙන් කරල තියෙනවා. මේ මොහොත වන විට ගම්පෙරළිය යටතේ ව්‍යාපෘති 33,875ක් ක්‍රියාත්මකයි. සෑම ගමකම කුමන හෝ සංවර්ධන කටයුත්තක් දෙකක් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. නොවැම්බර් මාසය දක්වා වන මාස 4ට පමණක් රුපියල් බිලියන 20ක් ඒ වෙනුවෙන් වෙන් කරල තියෙනවා.
2019 අයවැයෙන් ගම්පෙරළියේ ඊළග පෙරළිය පටන් ගන්නවා. ගමේ ව්‍යාපාරිකයන්ට නැගීහිටින්නට ශක්තිය දෙන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක වෙමින් තියෙනවා. මේ වන විට අලුත් ම ව්‍යවසායකන් 26,978කට මේ ණය පහසුකම් ලබා දීල ඉවරයි. රුපියල් බිලියන 5.4ක මුදලක් ලබා දීල තියෙනවා ඔවුන් වෙනුවෙන්. මේ සියල්ල හමුවේ මේ වසර අවසන් වෙද්දි 4%ක ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යන්නට හැකි වෙයි කියල අපේක්ෂා කරනවා.
ආර්ථික අර්බුදය හමුවේ අපි යම් යම් සීමා පනවා ගත්තා. මම දැක්ක තැනක තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඔක්කොම මේ වනකොට වාහන ගෙන්නල ඉවරයි කියල. ඒක වෙන්න පුළුවන්. අපි මේ සීමාව පනව ගත්තේ නැත්තං මේ ගැන මාධ්‍ය වාර්තා කරන්නේ කොහොම ද? පසුගිය දා උතුරු පළාත් මහ ඇමැතිතුමාට වාහනයක් ආනයනය කරන්න කැබිනට් පත්‍රිකාවත් ඉදිරිපත් වෙලා තිබුණා. ඒකට අනුමැතිය ලැබුණේ නෑ.
සමහරු කියනවා ජනතාව බදු බරින් මිරිකලා කියල. අපි තමයි ජනතාවගේ බදු බර අඩු කළේ. අපි තමයි මාසේකට රුපියල් ලක්ෂයක්, එහෙමත් නැත්තං වාර්ෂිකව රුපියල් ලක්ෂ 12ක ආදායමක් දක්වා ආදායම් ලබා ගන්න අය ආදායම් බද්දෙන් නිදහස් කෙරුවේ. නව දේශීය ආදායම් පනත යටතේ අපි උත්සාහ කරන්නෙ 18% - 82% අතර තියෙන වක්‍ර සහ ඍජු බදු අනුපාතය වෙනස් කරන්නයි. දැන් තමයි අපේ රටේ ආදායම් බදු ගොනු සංඛ්‍යාව 100,000ක් බවට පත් වෙලා තියෙන්නේ ” යැයි අමාත්‍යවරයා පැවැසීය. මෙම අවස්ථාවට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද එක්ව සිටියේ ය.