ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    රුපියල් ලක්ෂ 750 ක වියදමින් ලංගමයේ මානව සම්පත් සංවර්ධනය කෙරේ

    නොවැම්බර් 03, 2018

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මානව සම්පත් සංවර්ධනය උදෙසා රුපියල් මිලියන 75 ක් වැය කරමින් සේවක සේවිකාවන් 5000 කට, පරිගණක සාක්ෂරතාවය හා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පුහුණු පාඨමාලාවක් ලබාදීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු කර ඇත.

    ජාතික වෘත්තීය පුහුණු ආයතනය මගින් මෙම පුහුණු පාඨමාලාව පවත්වනු ලබන අතර, ප්‍රථම අදියර සඳහා සේවක සේවිකාවන් 1550 ක් සහභාගී වී සාර්ථකව එය අවසන් කර ඇත. දෙවන අදියර සඳහාද 1558 දෙනෙකු මේ වන විට පුහුණුව ලබමින් සිටි.

    එමෙන්ම දීර්ඝ කාලයක් තුළ ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්මිකයින් ලෙස සේවය කල 20 දෙනෙකු හට, ජර්මන් කාර්මික ආයතනය මගින් පුහුණුව ලබාදී ඇත. මෙලෙස පුහුණුව ලැබු සේවක සේවකාවන් 170 ක් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීම ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතින්  (01 දා) නාරාහේන්පිට ශාලිකා ශාලාවේදී සිදුවිය.

    මෙහිදී අදහස් පලකල අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා -:
    ලංගමය තුළ අද තිබෙන වෙනස ඉතාමත් පැහැදිලියි. ලංගමය තුළ මේ සිදුවී ඇති පරිවර්තනයට මානව සම්පත් සංවර්ධනයත් ඉවහල් වුනා. මානව සම්පත් සංවර්ධනයට අප මුල සිටම කටයුතු කලා. එහි ප්‍රතිඵලයක් හැටියටයි අද වන විට මෙවැනි අයුරින් පුහුණු පාඨමාලා පවත්වා ඉහල ප්‍රතිඵල අත්කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ.

    වසර 43 කට පසුව ශ්‍රී ලංගමය ලාබ ලබමින් පවතිනවා. ඒ නිසා ලංගම ආදායම් ලබන්න සේම, මානව සම්පත් සංවර්ධනය තවදුරටත් කරගෙන යාමට කටයුතු කරනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයත් අනෙකුත් පෞද්ගලික ආයතන වගේම තාක්ෂණයෙන් ඉදිරියට යා යුතුයි. ආයතනයක දියුණුව රඳා පවතින්නේ ඒ තුළයි. ලංගමයේ සේවකයින් 5000 කට පරිගණක සාක්ෂරතාවය හා කළමනාකරණය පිළිබඳව පුහුණුවක් ලබාදෙන්න සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයත් තීරණය කරලා තියෙන්නේ ඒ නිසයි. මේ සඳහා වැය වන මුදල් ලංගම සේවකයන්ගෙන් අය කරන්නේ නැහැ.

    ඒ වගේම මෙතෙක් කිසිදු පිළිගත් සහතිකයක් නැතිව ලංගමයේ සේවය කල කාර්මිකයන්ට මෝටර් කාර්මික ශිල්පය හා විදුලි කාර්මික ශිල්පී අංශයේ පුහුණුවක් ලබාදීලා සහතික පත්‍ර ලබාදෙන්න අප කටයුතු කලා. මේ සඳහා ජර්මන් කාර්මික පුහුණු ආයතන මගින් ඒ පුහුණුව ලබාදෙන්න ඔවුන් එකඟ වුනා. ඒ සඳහා ඔවුන් අපෙන් අය කරන්නේ ගාස්තුවෙන් භාගයයි.

    ලංගම මෙතෙක් කලක් පරිගණක දැනුමක් නොමැති සේවකයින් හට පරිගණක දැනුම ලබාදීලා වැඩ කරන්න පරිගණක ලබාදීලා තියෙනවා. මේ වන විට පරිගණක 400 ක් ලබාදීලා තියෙනවා. තවත් 600 ක් ලබාදෙන්න කටයුතු කරනවා. මෙතෙක් කලක් ඔවුන් අතින් කුරුටු ගගා තමයි ලිපි කටයුතු කලේ. මේ වන විට පරිගණක පුහුණුව ලැබු අයට අපි අද සහතික පත්‍ර පිරිනමනවා. ඒක ඔවුන්ගේ ජීවිතයටත් වැදගත් වේවි.

    ඒ වගේම විශේෂයෙන්ම කිව යුතුයි ලංගමය තුළ අප කටයුතු කල යුත්තේ නීතිරීති වලට අනුකූලවයි. ලංගමය තුළ කැලෑ නීතිය රජකරවන්න කොහෙත්ම ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා සියලුව වෘත්තිය සමීති වලින් ඉල්ලා සිටිනවා ලංගමයේ සංවර්ධනය උදෙසා සියලුම දෙනාම සහයෝගය ලබාදෙන්න කියලා. මෙම සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් ජී.එස්.විතානගේ, ලංගම සභාපති රමාල් සිරිවර්ධන, ජාතික වෘත්තිය පුහුණු අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් චූලංගනී පෙරේරා යන මහත්ම මහත්මීන්ද සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya