දේශීයත්වය අගයන ආර්ථික ප්‍රතිපත්තියක් ඔස්සේ කටයුතු කරමින්, ගෝලීය ආර්ථික කරුණු සැලකිල්ලට ගනිමින් ආර්ථික අර්බුදය විසඳීම ආණ්ඩුවේ අපේක්ෂාව බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. නව රජයේ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබූ අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද (09) පෙරවරුවේ කොළඹ මුදල් අමාත්‍යාංශයේ සිය ධුරයේ වැඩ භාර ගනිමින් මේ බව කියා සිටියේ ය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් වැඩ භාර ගැනීමේ උත්සවය මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි. වැඩ භාර ගැනීමෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.
“අපේ රටේ ආර්ථික සැකසුම පිළිබඳවත්, ආර්ථිකය මෙහෙයවීම පිළිබඳවත් විශාල ප්‍රශ්නයක් අපේ ජනතාව තුළ තිබුණ. ඕනෑම රටක ජනතාවගේ, නැත්තං රජයක මූලික අරමුණ රට ආර්ථික වශයෙන් ඉහළ ම තැනකට ගෙනයාමයි. ඒ වගේම ජනතාවට සාමකාමීව නිදහසේ සතුටින් ජීවත්වීමට ඉඩ සැලසීමයි. මේ විශ්වාසය මත තමයි ඕනෑම රජයක් පවතින්නේ.
ජනතාව පිළිබඳ දැක්මක් නොමැතිවීම සහ ආර්ථික විස්තාරණය පිළිබඳ අදහසක් පසුගිය රජයේ පාර්ශ්වයන් තුළ නොතිබීමත් පසුගිය ආණ්ඩුවට තිබුණ ලොකුම ගැටලුවක් විය. බදු ඉහළ දැම්මෙන් වගේ ම භාණ්ඩ මිල ඉහළ යාමට ඉඩදීමෙන් ඔවුන්
ජනතාවගෙන් ඈත් වුණා. ඒ නිසා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රටේ මුදල් අමාත්‍යවරයා විදියට මූලික පියවරයන් අරගෙන තියෙනවා.” ඔහුගේ එම ප්‍රතිපත්තියට සහය දැක්වීමට තමාව තෝරා ගැනීම සම්බන්ධයෙන් ආඩම්බර වෙන අතර ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාට ස්තුතියි පුද කරන බවත් අනුර යාපා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
“අපේ රටේ ආර්ථිකයේ ගැටලු තියෙනව කියල අපි පිළිගන්න ඕනෙ. බදු අය කිරීම්වල ප්‍රශ්න තියෙනවා. රුපියල අවප්‍රමාණය වීම අපට ලොකු ප්‍රශ්නයක්. මේ සඳහා අපට කෙටි කාලීන සහ දිගු කාලීන වැඩපිළිවෙළක් වෙත යා යුතු යි. අපනයනය ශක්තිමත් කරන්නෙ කොහොම ද? ආයෝජන වැඩි කර ගන්නෙ කොහොම ද? මේවා දවසකින් දෙකකින් කරන්න පුළුවන් වැඩ නොවුනත් අගමැතිතුමා යම් මූලික පියවර අරගෙන තියෙනවා. විශේෂයෙන් මිල සූත්‍රය අවසන් කිරීම පිළිබඳ තීන්දුව, තෙල් මිල අඩු කිරීම, ඒ වගේ ම ඇතැම් බදු ක්‍රමයන් ඉවත් කිරීම සම්බන්ධයෙන් එතුමා දැවැන්ත පියවරක් ඉදිරියට තැබුවා. ඒ වගේ ම අපි රාජ්‍ය ආදායම ගැනත් සැලකිලිමත් විය යුතුයි. මේ සියල්ල මැද්දෙ අපි ජනතා සුබවාදී වැඩ පිළිවෙළක් කල්පනා කළ යුතුයි.
ගෝලීය ආර්ථික තත්ත්වයන් සැලකිල්ලට ගෙන, දේශීය ආර්ථිකයන් ඊට ගැලපෙන ලෙස වෙනස් කරල ජනතාවට දිය හැකි උපරිම සහන දීම තමයි ජනාධිපතිතුමාගේත්, මුදල් ඇමැතිතුමාගෙත් අදහස වෙලා තියෙන්නෙ. දේශීයත්වය අගයන, දේශීයත්වය පිළිගන්න, මේ රටේ ගොවියාට ඉඩක් ලැබෙන, නවීන තාක්ෂණය ලබා ගන්න පුළුවන් ඒ වගේ ම කාටත් සාධාරණ වැඩපිළිවෙළකට යන්න ලොකු වැඩකොටසක් කරන්න වෙයි. ”
මෙම අවස්ථාවට දුනේෂ් ගන්කන්ද, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මැති ඇමැතිවරු සහ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල මහතා ඇතුළු නිලධාරීහු රැසක් ද සහභාගී වූහ.