ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වී මේ වනවිට උතුරු අක්ෂාංශ 13.1 හා නැගෙනහිර දේශාංශ 90.0 ට ආසන්නව පවතී. මෙම පද්ධතිය ඉදිරි පැය 24 තුලදී සුළි කුණාටුවක් බවට තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තුවේ.
ගාල්ල සිට හම්බන්තොට හරහා මඩකළපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැක. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 30-40 පමණ වේ.
දිවයිනට බස්නාහිර සහ නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 45-50 දක්වා වැඩිවිය හැක. එවිට එම මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (11) නිකුත් කළ අනාවැකියේ සඳහන් වෙයි.