ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    අමාත්‍යංශවල වැය ශීර්ෂ කපා හැරීම සදහා මන්ත්‍රීවරුන්ට යෝජනා ගෙන ඒමට බැහැ- නීතිඥවරු පවසති

    නොවැම්බර් 23, 2018

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 වැනි වගන්තිය අනුව මෙසේ මුදල් කටයුතු පිළිබද පනතක් හෝ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලය ඇත්තේ ඇමතිවරයෙකුට පමණක් බව ජ්‍යෙෂ්ඨ නීතීඥවරු පිරිසක් පවසති.

    ඒ අනුව රවී කරුණානායක, කාවින්ද ජයවර්ධන, චතුර සේනාරත්න ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විසින් අගමැති ඇතුළු ඇමතිවරුනිගේ අමාත්‍යංශවල වැය ශීර්ෂයන් කපා හරින ලෙස ඉල්ලමින් පාර්ලිමෙින්තුවට ඉදිරිපත් කොට ඇති යෝජනාව ව්‍යවස්ථා විරෝධි යැයි ජ්‍යෙෂ්ඨ නීතිඥ අතුල ද සිල්වා මහතා අද (23) පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.

    එම මන්ත්‍රීවරුන් මෙම යෝජනාව ඉදිරිපත් කොට ඇත්තේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තිය අනුව බව එහි දක්වා තිබෙනවා. එම වගන්තියේ ඇත්තේ මෙසේ බදු පැනවීම් හා බදු ඉවත් කිරීම් පිළිබද පනත් කෙටුම්පත් හෝ යෝජනා පිළිබදවයි. ඒ අනුව එම යෝජනාව 148 වැනි වගන්තියට පටහැනියි.

    ‘ව්‍යවස්ථා විරෝධීව ඉදිරිපත් කොට තිබෙන මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවසර දුන්නොත් කථානායකවරයා මෙන් ම එතුමාට උපදෙස් දෙන පාර්ලිමේන්තු ලේකම් වරයා ද සිදු කරන්නේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්.’ යයි ද නීතිඥ අතුල ද සිල්වා මහතා තවදුරටත් කීය.

    එබැවින් ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ඉදිරිපත් කොට ඇති මෙම යෝජනාව නොවැම්බර් 27 වනදා පාර්ලිමේන්තුවේ විවාදයට නොගන්නා ලෙස ඉල්ලා සිටින බව ඒ මහතා සදහන් කළේය.

    තව ද පසුගිය නොවැම්බර් 14 දා විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේ මන්ත්‍රීවරයෙකු බෙදීමක් ඉල්ලා ඇතත් කථානායකවරයා එය ගණන් නොගෙන කටහඩින් ඡන්දය ගැනීම නිසා ස්ථාවර නියෝග උල්ලංඝනය වී ඇති බවත් මන්ත්‍රීවරයෙකු බෙදීමක් ඉල්ලා සිටි බව එදින හැන්සාඩ් වාර්තාවේ සදහන් වන බවත් අතුල ද සිල්වා මහතා පෙන්වා දුන්නේය.

    ජ්‍යෙෂ්ඨ නීතීඥ චන්ද්‍රසිරි සිල්වා, නීතීඥ රවීන්ද්‍ර ජයසිංහ, නීතීඥ ජනක වැලිවත්ත යන මහත්වරුන් හා නීතීඥ තුශාරි සූරියආරච්චි මහත්මිය ද මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya