ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    ගංවතුර අපදාවේදී උතුරු - දකුණු සහෝදරත්වය පිළිබිඹු වුණා-කථානායක

    ජනවාරි 07, 2019

    “ගංවතුරෙන් විපතටපත් උතුරේ මුලතිව්,කිලිනොච්චි දිස්ත්‍රික්කවල ජනතාව වෙත සහනාධාර රැගෙන පැමිණි ජනතාව ගෙන ආ භෞතික දේට වඩා එම ජනතාව දකුණෙන් උතුරට රැගෙන ආ සහෝදරත්වය සහ මනුෂ්‍යත්වයේ ආදරණීය හැඟිම තුළ මිල කළ නොහැකි තරම් වටිනාකමක් ගැබ්ව ඇති බව” කථානායක කරු ජයසුරිය මහතා පැවසීය.

    තමන් කුඩා කාලයේ දකුණේ ගංවතුර උවදුර ඇති වූ අවස්ථාවල යාපනයේ ජනතාව ආධාර ලොරි පුරවාගෙන දකුණේ ජනතාව වෙත පැමිණි අයුරු ද සිහිපත්කල කථානායක කරු ජයසුරිය මහතා සඳහන් කලේ “කොතරම් දුෂ්කරතා පැවතිය ද පසුගිය වසරේ දකුණේ ඇති වූ ගංවතුර ආපදාවේ දීද උතුරේ ජනතාව සහෝදරත්වයෙන් යුතුව මෙම මනුෂ්‍යත්වය පිරි හැගීම ප්‍රකට කළ බවයි”.

    විශේෂයෙන්ම උතුරු පළාතේ නව වසර ආරම්භයත් සමගම ක්ෂණිකව ඇති වූ ගංවතුරෙන් ජනතාව බේරා ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කල මෙහෙවර ජනතාව හා හමුදාව අතර නව මානුෂික බැදීමකට සහ අවබෝධයක පදනම සකසන ලද බවද හෙතෙම සඳහන් කළේ ය.

    මෙහිදී වහාම මැදිහත් වී සහන සේවාවන් සක්‍රිය කිරීමට කටයුතු කල ජනාධිපතිවරයා, අගමැතිවරයා, අපදා කළමණාකරන ඇමතිවරයා ප්‍රධාන රාජ්‍ය යාන්ත්‍රනය උතුරේ ජනතාව මුහුණ දුන් ගංවතුර ආපදාවට ශක්තිමත්ව මුහුණ දීමට හැකියාව ලබා දුන් බවද පැවසීය.

    කථානායක කරු ජයසුරිය මහතා මේ බව සඳහන් කලේ ගංවතුර ආපදාවට පත් වූ මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ජනතාවගේ සුවදුක් සොයා‍ බැලීමට සහ සහන සේවා කටයුතු පිළිබඳව පරික්ෂා කර බැලීම සඳහා එම ප්‍රදේශ වෙත ගිය අවස්ථාවේදීය.

    පසුගිය සතියේ කරු ජයසුරිය මහතා එම ප්‍රදේශ බලා ගියේ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, කම්කරු වෘත්තිය හා සමජ සවි බලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ, අධ්‍යාපන රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් යන අය සහ අපදා කළමණාකර අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු සහන සේවා කටයුතු භාර ප්‍රධාන රාජ්‍ය නිළධාරීන් පිරිසක් ද කැටුවය.

    කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන්හි දී සහන සේවා කටයුතු පිලිබඳ පැවැති සාකච්ඡාවන් සඳහා ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු නියෝජිතයන් වන මාවෙයි සේනාධිරාජා, එම්.ඒ සුමන්තිරන්, ශ්‍රී ධරන්, ශාන්ති සිරිකන්දරාජා යන මන්ත්‍රීවරු එක් වූහ. කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් අරුමෙයිනායගම් මහතා සහ මුලතිව් දිස්ත්‍රික් ලේකම් කේදීස්වරන් මහත්මිය ඒ ඒ දිස්ත්‍රික්කවල ආපදා තත්ත්වය සහ සහන සේවා කටයුතු ක්‍රියාත්මක කිරීම සම්බන්ධව දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළහ.

    මෙම අවස්ථාවට පැමිණ සිටි සහන සේවා ප්‍රතිලාභීහු ඉදිරිපත් කළ ප්‍රායෝගික ගැටළු ගණනාවක් ඒ මොහොතේම රාජ්‍ය නිලධාරීන් ද සමග සාකච්ඡා කොට විසදාලීමට ද කථානායකවරයා පියවර ගනු ලැබීය.

    එම ජනතාව අමතමින් හෙතෙම සදහන් කළේ විපතේ දී සියළු භේද පසෙක ලා එක් වීම ශ්‍රී ලාංකිකයන් තුල පවතින උතුම් ගුනාංගයක් බවයි. ශ්‍රී ලංකාවේ ජනතාව තරම් තම වකුග‍ඩු, ලේ, ඇස්, දන් දීමට ඉදිරිපත් වන ජන කොට්ඨාශයක් ලෝකයේ වෙනත් කිසිදු රටක නොමැති බවත් මෙහිදී අප රටේ ජනතාව කිසිදු ජාති ආගම් කුල‍ භේදයක් නොසලකන බවත්ය .

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ කථානායකවරයා “අප පරපුර මුහුණ දුන් අමිහිරි අත්දැකීම් දැන් නිමා වෙමින් පවතිනවා. මා දකින සිහිනය තමයි ඊ ලඟ පරපුර කිසිදු භේදයකින් තොරව එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස සහෝදරත්වයෙන් මාතෘ භූමිය වෙනුවෙන් කැප වනු දැකීම. එනිසාම අප මේ විපතට පත් මොහොතේ දී ඔබ සොයා ආවේ හුදෙක් සහනාධාර කටයුතු සදහා පමණක් නොවෙයි. ඔබගේ විපතේ දී ඔබ තනි නොවන බවත්, දකුණේ අප ඔබ සමග සිටින බවටත් වන මිත්‍රත්වයේ සහ සහෝදරත්වයේ පණිවුඩය ලබා දීමටයි.

    උතුරේ ජල මූලාශ්‍ර පිරිසිදු කර දීමට අවස්ථා ඉල්ලා සිටිමින් සිංගප්පූරුවෙන් ද තමා වෙත ඉල්ලීම් ඉදිරිපත් වූ නමුත් එයට ඉඩ නොතබා සියළු පානිය ජල මුලාශ්‍ර මේ වන විටත් පිරිසිදු කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබීම ගැන හමුදාව සහ සියළු රාජ්‍ය නිලධාරීන්ට කෘතඥතාවය පළ කරන බව කථානායකවරයා සදහන් කළේය.

    කිලිනොච්චියේ දී පිරිස හමුවීමට පැමිණි උතුරේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන වී. ආනන්ද සංගරී මහතා ද කථානායකවරයා පෞද්ගලිකවම පැමිණ තත්වය සොයා බැලීම පිලිබදව කෘතඥතාවය පළ කළේය.

    මෙහිදී අදහස් දැක්වූ ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් . ශ්‍රී ධරන් මහතා පැවසූවේ මුලතිව් හා කිලිනොච්චි දිස්ත්‍රික්ක අවස්ථා ගණනාවකදී ස්වභාවික ආපදාවන්ට මුහුණ දී ඇති නමුත් කථානායකවරයෙකු එම ප්‍රදේශ වෙත පැමිණ සහන ‍සැලසීම පිලිබදව මැදහත් වූ පළමු අවස්ථාව ලෙස කරු ජයසූරිය මහතාගේ පැමිණීම ඉතිහාසයට එක් වන බවයි.

    ඇමති දයා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, එම්.ඒ සුමන්තිරන් , ඇමතිනි විජයකලා මහේෂ්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රීනි ශාන්ති සිරිකන්දරාජා මහත්මිය ද පවතින තත්වය සහ සහන සැපයීමේ ක්‍රියාවලිය පිලිබදව අදහස් පළ කළහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya