කුලියාපිටිය කනදුල්ල ධර්මරාජ විද්‍යාලයේ පැවති “ළඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු පංති කාමර සහිත තෙමහල් පරිපාලන ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යතුමන් පෙන්වා දුන්නේ වෘත්තිය අධ්‍යාපනය ලැබුවන් සඳහා අනාගතයේ දී විශාල ඉල්ලුමක් ඇති වන බවයි.
විදේශ රටවල ද වෘත්තිය අධ්‍යාපනය ලැබුවන් සඳහා ඉහළ වැටුප් ලබාදෙන අතර එම ඉල්ලුම සපුරාලීමට මෙතෙක් හැකිවී නොමැති බවද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී සඳහන් කළේය.
උසස් පෙළ දරු දැරියන් සඳහා මෙම වසරේ දී කෙසේ හෝ ටැබ් පරිගණක ලබා දෙන අතර එමගින් ගුරුවරු නැති අවස්ථාවල ද දරුවන්ට දිවයිනේ ඕනෑම ස්ථානයක සිට අන්තර්ජාලය ඔස්සේ විෂය ප්‍රවීනයන් මගින් ඉගැන්වීම් කටයුතු සිදු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දුන්නේය.
ටැබ් පරිගණක භාවිතා කරමින් විභාගයට සාර්ථකව පිළිතුරු සැපයීමට අවශ්‍ය පාඩම් මාලා සහ විෂය කරුණු සම්බන්ධව විධිමත් උපකාරක පන්ති පැවැත්වීම සම්බන්ධයෙන් කටයුතු සුදානම් කරන ලෙස විභාග කොමසාරිස්තුමන්ට තමන් උපදෙස් ලබාදුන් බවද අධ්‍යාපන අමාත්‍යතුමන් මෙහිදී පෙන්වා දුන්නේය.
උසස් පෙළ සඳහා පෙළ පොත් ලබාදීමක් ආරම්භයේ සිට සිදු නොවූ නමුත් උසස් පෙළ සිසුන් සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබා දීමෙන් පසුව පෙළ පොතක් සකසා ටැබ් පරිගණකයට ඇතුළත් කරන ලෙස ද විභාග කොමසාරිස්තුමාට උපදෙස් ලබා දුන් බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මීට අමතරව 'ළඟම පාසල හොඳම පාසල' ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු තවත් පාසල් ගොඩනැගිලි ද සිසු අයිතියට පත් කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.
ඒ,කුලියාපිටිය වීරඹුව කණිෂ්ඨ විද්‍යාලය, කනදුල්ල ධර්මරාජ විද්‍යාලය,ඉලුක්හේන ගුණානන්ද මහා විද්‍යාලය,කුලියාපිටිය සම්බෝධි ප්‍රාථමික විද්‍යාලය,දීගල්ල රේවත මධ්‍ය මහා විද්‍යාලය සහ අරක්යාල මහ විද්‍යාලයේදීයි.