එම පණිවුඩය මෙසේය.
කිසියම් රටක් කාන්තාවට සම තත්ත්වය ලබා දී ඇය රාජ්‍ය පාලනය දක්වා ඔසවා තැබීම වූකලී සමාජ සංවර්ධනයේ ඉහළ අවස්ථාවක් හැටියට සැලකිය හැකිය. ලෝකයේ දියුණු රාජ්‍ය බොහොමයක් රාජ්‍ය පාලනයෙහි ලා කාන්තා දායකත්වය නොඅඩුව ලබාගත් බව ලෝක ඉතිහාසය දෙස බලනවිට පෙනී යයි. භාරතීය දාර්ශනිකයින්ට අනුව ‘ස්ත්‍රිය යනු වාසනාවේ දෙවඟන ය” නැතහොත් නිවසේ දෙවියන් කාන්තාව වන්නී ය. නිවසෙහි අධිපතිත්වය දරන කාන්තාව ශ්‍රී දේවිය යැයි අතීතයේ සැලකුයේ ඒ නිසා ය. ‘වණ්ණදාසී’ යනු නගරයට වාසනාව ගෙන එන තැනැත්තී යන්න ය. වණ්ණදාසී යන නම අපට හුරුපුරුදු ය. අතීත ශ්‍රී ලාංකේය සමාජය කාන්තාවට සුදුසු තැන ලබා දෙමින් නිසි ගෞරවය දක්වා ඇති බව පෙනී යයි.
එහෙත් සමාජ අසාධාරණය, තාඩන, පීඩන, ගැරහුම්, අවමන්වලට ලක් වූ කාන්තාවෝ අති බිහිසුණු තත්ත්වයන්ට පත් වූ අවස්ථාද නැත්තේ නොවේ. එවැනි අවස්ථාවන් දුර්ගා දේවිය, මූ දේවිය වැනි දෙවඟනන් මගින් නිරූපණය කෙරේ.
කාන්තාවක් යනු වරෙක දියණියක්, මවක්, බිරිඳක්, මිත්තණියක් වන බැවින් ඇයට සැබැවින්ම පුරුෂ පාර්ශ්වයේ ගෞරවය හිමිවිය යුතුය. නමුත් ඇතැම් අවස්ථාවන්හිදී ජනමාධ්‍ය තුළ පළවන සිදුවීම් දෙස බලන විට පුරුෂයින් විසින් කාන්තාවන්ට සිදුකරන අපහාස උපහාස දෙස බලනවිට සැබවින්ම කාන්තාවන්ට හිමි විය යුතු නිසි ගෞරවය සමාජය විසින් ඇයට ලබා දෙන්නේද යන්න නැවත සිතා බැලිය යුතුය.
අතීතයේ දී ලොව සමහර රටවල කාන්තාව නොසලකා හැර ඇය උදෙසා විවිධ තහංචි පනවා තිබුණ ද ශ්‍රී ලංකාවේ එබඳු තත්ත්වයක් නොපැවැති බව පෙනී යන්නේ අනුලා, සුගලා, ලීලාවතී, කල්‍යාණවතී, සීවලී යන රැජිනියන්, රජවරුන් සේම සාර්ථක පාලනයක් ගෙන ගිය කාන්තාවන් නිසාය.
කෙසේ වුවද 2019 වසරේ ලෝක කාන්තා දිනය කාන්තාවන්ගේ ඉදිරි උන්නතිය සඳහා සමතුලිත අවස්ථා උදා කිරීම විෂයකොට ගත් “සුහුරු කතක් - සොඳුරු ලොවක්” තේමාවක් යටතේ පැවැත්වීමට පියවර ගෙන ඇත. කාන්තාවන් 8000ගේ සහභාගීත්වයෙන් යුතුව සමඟාමී වැඩසටහන් රාශියකගෙන් සමන්විතව මෙම ජාතික උත්සවය අනුරාධපුරයේ දී පවත්වන අතර ඒ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිඳුන්ගේ ආශිර්වාදය ලබාදීම සැබවින්ම අගය කරමි.