කැළණිය, පාලි හා බෞද්ධ අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයට මුල්ගල තැබීමේ අවස්ථාවට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසීය.
තවදුරටත් අඳහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා;
මෙම පාලි හා බෞද්ධ අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයට මුල්ගල තබන අද දිනය, අප රටේ ඉතිහාසගත වන දිනයක් බවට පත්වෙනවා. කෝට්ටේ යුගයේ දී කැළණිය විශාල ප්‍රසිද්ධියක් ලබා තිබුණා. කැළණිය රජමහා විහාරය පිළිබඳව සැළලිහිණි සංදේශයේ වගේම අනෙක් සංදේශ කාව්‍යවලත් සඳහන් වෙනවා. කෑරගල පද්මාවතී පිරිවෙනත් එවැනිම අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබුණා. වනරතන මහනායක ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් කැළණි නදිය ආශ්‍රිතව සිදුවූ උපසම්පදා පුණ්‍යකර්මය සඳහා සියම්, රාමඤ්ඤ, අමරපුර නිකායන්වලින් වගේම කාම්බෝජියාවෙන් ද සංඝයා වහන්සේලා වැඩම කළා. පෘතුග්‍රීසී ආක්‍රමණ සමඟ ඒ සියල්ල විනාශ වුණත් නැවත කැළණිය රජමහා විහාරය ආශ්‍රිතව එම වැඩ කටයුතු ආරම්භ කෙරුණා.
එමෙන්ම පූජ්‍යපාද රත්මලානේ ධම්මාලෝක නායක ස්වාමීන් වහන්සේ ආරම්භ කළ විද්‍යාලංකාර පිරිවෙන කැළණියේ ස්ථාපිත වුණා. එය විශාල ප්‍රසිද්ධියක් ලැබුවා. 1958 වර්ෂයේ විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය ආරම්භයෙන් පසුව ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා 1978 දී වසරේ බෞද්ධ අධ්‍යාපනය තුළ විශාල ප්රතිසංවිධානයක් සිදු කළා. එදා ඇති කළ විශ්වවිද්‍යාල පනත හරහා මෙම විශ්වවිද්‍යාල මණ්ඩපය, කැළණිය විශ්වවිද්‍යාලය ලෙස නම් කරමින් විද්‍යාලංකාර පිරිවෙන හා අනෙක් පිරිවෙන්, පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලය යටතට පත් කළා. ඒ යටතේ එම පිරිවෙන්වලට ආධාර උපකාර ලබා දුන්නා. එවකට විෂය භාර අමාත්‍යවරයා ලෙස විද්‍යාලංකාර පරිවෙණාධිපති භික්ෂූන් වහන්සේ හමුවී සාකච්ඡා කර, අවශ්‍ය පහසුකම්
සළසා දීමට මට හැකි වුණා. එවකට මෙම විශ්වවිද්‍යාලයේ ආරම්භ කර තිබු බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයෙහි වෙනම පාලන මණ්ඩලයක් ඇති කිරීමට අප කටයුතු කළා. එවැනි පාලක මණ්ඩලයක් ඇති කළ නිසා මෙම ආයතනය දියුණුවට පත් වුණා.
කැළණිය විශ්වවිද්‍යාලය, විද්‍යාලංකාර පිරිවෙන ඇතුළු වර්තමානයේ ලෝක ප්‍රසිද්ධ අධ්‍යාපන ආයතන කැළණිය තුළ ස්ථාපිත වීම තුළින් කැළණියට අතීතයේ තිබූ ප්‍රසිද්ධිය නැවත ලැබී තිබෙනවා. මේ පිළිබඳව මෙහි අධ්‍යක්ෂක කොටපිටියේ රාහුල අනුනායක ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත විය යුතුයි. බෞද්ධ අධ්‍යාපනයේ විශාල ප්රතිසංවිධානයක් සිදුවූ 1978 වසර මෙන්ම 2019 වසරත් අපට ඉතා වැදගත් වසරක්. ඊට හේතුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා යටතේ ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත්කිරීම මෙම වසරේ සිදුවීම නිසයි. මේ අධ්‍යාපන ආයතනවල කාර්යභාර්ය වන්නේත් ත්‍රිපිටකයේ අඩංගු ධර්මය පිළිබඳව ලෝකයා දැනුවත් කිරීමයි. පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක ස්වාමීන් වහන්සේ මෙම ආයතනයේ වැඩභාර ගැනීමත් සමග එය ජාත්‍යන්තර වශයෙන් විශාල දියුණුවක් අත්කරගෙන තිබෙනවා.
මෙම ආයතනය හරහා ආසියාව තුළ මේ වන විට ස්ථාපිත කර තිබෙන අනෙක් බෞද්ධ අධ්‍යාපන ආයතන 03 මෙන්ම ඉදිරියේ දී ආමෙරිකාව - යුරෝපය ආදී රටවලත් අධ්‍යාපන ආයතන ඇති කරනවා. මෙම ආයතනයට ආසියානු කලාපයේ බෞද්ධ රටවල් සමග විශාල සම්බන්ධයක් තිබෙනවා. මෙහි අධ්යක්ෂ රාහුල ස්වාමීන් වහන්සේ එම බැඳීම් තවත් ශක්තිමත් කර තිබෙනවා. උන් වහන්සේගේ විශේෂ අවධානය යොමු වී තිබෙන්නේ ඇමෙරිකාවේ මෙවැනි අධ්‍යාපන ආයතනයක් ඇති කිරීමටයි.
බටහිර ලෝකය තුළ මේ වන විට බෞද්ධ දර්ශනය පිළිබඳ විශාල ඇල්මක් ඇති වී තිබෙනවා. එම නිසා බෞද්ධ ධර්මය වැළඳගෙන තිබෙන ආසියාවේ මෙන්ම, බෞද්ධ ධර්මය බහුලව නොමැති නමුත් බෞද්ධ දර්ශනය පිළිබඳ ඉගෙන ගැනීම් අවශ්‍යතාවය ඇති බටහිර ලෝකයටත් මෙම ආයතනයේ සේවය ලබාදීම මෙම පාලි හා බෞද්ධ අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයේ වගකීමක් විය යුතුයි. බෞද්ධ දර්ශනය පිළිබඳව අධ්‍යයනය කිරීමට විදේශිකයින් මෙරටට
පැමිණෙනවා මෙන්ම මෙරට සංඝයා වහන්සේලාට විදෙස් භාෂා දැනුම ලබා දීමටත් අපේ රජයට යුතුකමක් තිබෙනවා. අශෝක අධිරාජ්‍ය සමයේ ග්‍රීසිය, ඊජිප්තුව තෙක් ස්වාමීන් වහන්සේලා ධර්මදූත සේවයේ යෙදුණා. ග්‍රීක, ඊජිප්තු භාෂාවලින් ධර්මය දේශනා කළා. ඒවා උදාහරණයට ගනිමින් අපි ඉදිරියට යා යුතුයි. පූජ්‍ය කොටපිටියේ රාහුල ස්වාමීන් වහන්සේ මේ වෙනුවෙන් ක්‍රියා කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.
මේ ආයතනයේ සාර්ථකත්වය ලබා තිබෙන ප්‍රතිඵල හරහා පෙනෙනවා. එම නිසා අපේ රජය වැඩ කරන රජයක් බව පැවසිය යුතුයි. තවදුරටත් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන පිළිබඳව පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් කළ දැනුවත් කිරීම අපේ අවධානයට යොමු වුණු බවත් පැවසිය යුතුයි. මට මෙම වැඩසටහනට ආරාධනා කිරීම පිළිබඳව ස්තුතිවන්ත වෙමින් මගේ කතාව අවසන් කරනවා.