ඉරිදා දිනයේ දී ම සියලු දිස්ත්‍රික්කවල ආරක්ෂක කමිටු රැස්වී අවශ්‍ය පියවර ගත් බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
ඇඳිරිනීය ඉවත් කළ පසු රාජ්‍ය නිලධාරීන් හැකි ලෙස පැමිණ රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වෙනවා.
සියලුම ආගමික ස්ථාන, සංචාරක හෝටල් ඇතුළු පොදු ස්ථානවල ආරක්ෂව ගැන විශේෂයේන සොයා බැලීමට ආරක්ෂක කමිටු හරහා අවශ්‍ය පියවර ගනී.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් උපදෙස් අනුව සියලුම දිසාපතිවරුන්ට ඒ ඒ දිස්ත්‍රික්කයන්හි ආරක්ෂක කමිටු කැඳවා වහාම ආරක්ෂාවට අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනුම් දුන් බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ගාල්ල දිස්ත්‍රික් ආරක්ෂක කමිටුව අද (22) උදෑසන රැස්වූ අවස්ථාවේ දී ය.
එහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් උපදෙස් අනුව හැකි ඉක්මණින් දිස්ත්‍රික්කයන්හි ආරක්ෂක කමිටු කැඳවා පොලීසිය, ත්‍රිවිධ අහමුදාව සහ දේශපාලන අධිකාරිය වගේම ආගමික නායකයන් සමග එක්ව අවශ්‍ය ආරක්ෂක විධිවිධාන ගන්නා ලෙස සියලුම දිසාපතිවරුන්ට උපදෙස් දුන්නා. ඒ අනුව ඊයේ (21) දිනයේ දී ම සියලුම දිස්ත්‍රික්කයන්හි ආරක්ෂක කමිටු රැස්වී දැනටමත් අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. අද (22) නැවත ආරක්ෂක කමිටු රැස්වනවා. දිස්ත්‍රික් ලේකම්වරු ආරක්ෂක කමිටු කැඳවා අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගෙන දැනටමත් වාර්තාවක් සකස් කරලා ලබා දී තිබෙනවා.
ගාල්ල දිස්ත්‍රික්ක ආරක්ෂක කමිටුව අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර ඒ සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා සහ විජේපාල හෙට්ටිආරච්චි මහතා ද බෞද්ධ ස්වාමීන්වහන්සේලා, කතෝලික, හින්දු හා ඉස්ලාම් ආගමික පූජකවරුන්, පොලිස් හා ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.
එහි දී අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙසේ ද කීවේය.
'' පොලිසියටත් ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය සහයෝගය නිලධාරීන්ගේ පැත්තෙන් වගේම, ආගමික නායකයන්ගේ පැත්තෙන්, සිවිල් පුරවැසියන්ගේ පැත්තෙන් ලබාදිය යුතුව තිබෙනවා. ක්ෂේත්‍රයේ ඉන්න නිලාධාරීන්ටත් මෙහි දී විශේෂ වගකීමක් තිබෙනවා. ආරක්ෂාව ලබාදිය යුතු ස්ථාන සහ ආරක්ෂක නිලධෘරීන් වඩාත්ම විමසිල්ලෙන් සිටිය යුතු ස්ථාන ගැන දන්නේ ක්ෂේත්‍රයේ ඉන්න ගමේ අය. මේ නිසා අපි කලින් ක්‍රියාත්මක වූ සැළැස්ම අනුව ක්‍රියාත්මක වීම සිදුකළ යුතුයි. ආරක්ෂක කමිටුවේ සියලු දෙනා නිසි ක්‍රියාමාර්ග ගනිමින් මතුවට ප්‍රශ්න ඇතිවීම වළක්වාගත යුතුයි. රාජ්‍ය සේවය අද නිවාඩු දිනයක් නොකළේ ඇඳිරිනීිතියෙන් පසුවත් රාජ්‍ය නිලධාරීන් රටේ සාමාන්‍ය කටයුතු කරගෙන යා යුතුව තිබෙනවා. ඒ නිසා ඔවුන් හැකි ආකාරයෙන් කාර්යාලවලට ඇවිත් අඩුම ගණනේ පැයක් දෙකක් හෝ හැකි අයුරින් ක්‍රියාත්මක වීම වැදගත්. ඒ සමස්ථ යාන්ත්‍රණය නවත්තන්න බැහැ. තම රාජකාරී ඉටු කළ යුතුයි.
මෙහිදී අදහස් දැක්වූ කණුමුල්දෙණියේ චන්දවිමල නා හිමියෝ මෙසේ කීහ.
'' ඉතා අවාසනාවන්ත සිදුවීමක් වුණා. පසුගිය දශක ගණනාවක යුද්ධ කාලයේ දී පවා ගාල්ලේ සියලු ජාතීන් සියලු ආගමිකයන් එක්ව සහයෝගයෙන් කටයුතු කළ අතීතයක් අපට තිබුණා. ඒ නිසා මේ අවස්ථාවේ දීත් අපි සහයෝගයෙන් සමගියෙන් කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. විශේෂයෙන් ම අපි සියලු දෙනාගේ රැකවරණයට ඉන්නේ පොලිසිය හා ත්‍රිවිධ හමුදාව. ඔවුන්ට අපි කවුරුත් සහයෝගය දිය යුතුයි. මේ වගේ සිදුවීමක් වුණාම ආරක්ෂාව පිළිබඳ අපි සාකච්ඡා කරනවා වගේම දීර්ඝකාලීන වැඩෙපිළිවෙලක් සකස් කරලා ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. නැතිනම් මේවා අලුයට ගිනි පුපුරු වගේ නැවත නැවත මතුවෙන්න ඉඩ තිබෙනවා. එය වළක්වන්න දීර්ඝකාලීන වැඩපිළිවෙලක්අ වශ්‍ය වෙනවා.
ගාල්ල අගරදගුරු රේමන්ඩ් මික්‍රමසිංහ මහතා මෙසේ කීවේය.
''මේ අවාසනාවන්ත සිද්ධියට මුහුණ පෑවේ කවුද කවුද මේ කළේ කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. විනාශ වී තිබෙන්නේ මිනිස් ජීවිත කියන එකයි වැදගත්. කාගේ වුණත් මිනිස් ජීවිත. ආගමික නායකයන් විදියට අපි ඉතා වේදනාවට කණගාටුවට පත්වුණා. කවුරුන් මියගියත් අපි දුක්වෙනවා. ඊයේ මේ සිදුවීමත් සමගම රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ පමණක් නොවෙයි සිවිල් පුරවැසියන් පවා ඇවිත් ගාල්ලේ දේවස්ථාන ආරක්ෂා කළා. නමුත් මේක එක සිද්ධියක් විතරයි. ආගමික උත්සව ගණනාවක් මේ තිබෙනවා. පාසල් පද්ධතිය විදෙස් රටවල කියපු දෙයක් තමයි මේ වගේ ත්‍රස්තවාදී කල්ලි පාසල් ළමයි ඉලක්ක කරගනමින් ප්‍රහාර එල්ල කරන්න ඉඩ තිබෙනවා. නවසීලන්තයේ මුස්ලිම් දේවස්ථානයට ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේ අපි කඳුළු සැලුවා. ත්‍රස්තවාදියාට අනිත් පුද්ගලයා මොන ආගමේ ද මොන ජාතියේ ද කියන එක වැදගත් වෙන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය ම්ලේච්ඡත්වය පමණයි. අපි මුළු ශ්‍රී ලංකාවේම සියලු දෙනා අවදියෙන් සිටිය යුතු කාලයකට ඇවිත් තියෙනවා.
ගාල්ල මව්ලවි එම්.ඉසෙඩ්. මොහොමඩ් මහතා මෙසේ කීවේය.
අපේ රටට දැනට මුහුණ දෙන්න සිදුවූ තිබෙන මේ තත්ත්වය ඉතා කණගාටුදායක අවස්ථාවක්. මේ ලෝකයේ කොහේ හරි ඇති වූ ත්‍රස්තවාදයක් දැන් අපේ රටෙත් ක්‍රියාත්මක වෙන්න පටන් අරගෙන තහවුරු වී තිබෙනවා. අපි කිසිසේත්ම මේ ප්‍රහාරයවත් මේ ත්‍රස්තවාදීන්වත් අනුමත කරන්නේ නැහැ. අපිප මුස්ලිම් ජාතියක් හැටියට ඉස්ලාම් ආගමිකයන් හැටියට ඉතා සහයෝගයෙන් අනිත් ජාතීන් සහ ආගමිකයන් හැටියට ශ්‍රී ලාංකිකයන් හැටියට හැමවෙලාවෙම කටයුතු කළා. අපි හැමෝම සියලු ශ්‍රී ලාංකිකයන්ගේ වගකීමක් වෙනවා, මේ ත්‍රස්තවාදය මෙල්ලකරගැනීම.
මෙහි දී දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ද දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා ද අදහස් දැක්වූහ.
ගාල්ල දිස්ත්‍රික් ආරක්ෂක කමිටු රැස්වීමේ දී ඉඉදිරි ආරක්ෂිත ක්‍රියාමාර්ග රැසක් පිළිබඳ සාකච්ඡා කෙරුණු අතර ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම බෞද්ධ සිද්ධස්ථාන හා අන්‍ය ආගමික දේවස්ථාන සඳහා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් සකස් කිරීමට ද සංචාරක හෝටල් සඳහා ආරක්ෂිත ක්‍රියාමාර්ග ගැනීමට ද තීරණය කෙරිණි.