ඇමතුම ලබා දෙන්නා සමඟ සම්බන්ධ වී නම, විස්තර ආදී ඇමතුම් විස්තර ලබා ගෙන කාලය ඉතුරු කර ගනිමින් වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීම මෙහි අරමුණ බව මෙම අවස්ථාවට එක් වූ සුව සැරිය නිර්මාතෘ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කටයුතු පිළිබඳ කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පැවසීය.
2019 මැයි මාසය වන විට දුරකතන ඇමතුම් 1,057,571 සඳහා පිළිතුරු ලබා දී තිබෙන අතර ගිලන් රථ වාර 199,997 ක් පිටත් කර තිබෙන අතර රෝහල් ගත කිරීම් 174555ක් සිදු කර තිබේ. තවද දරු උපත් 81ක් මෙම ගිලන් රථ තුළ සිදුවීම සුවිශේෂී සිදුවීමකි.
ඉන්දියානු රජයේ ආධාර ඇතිව 2016 වසරේ ආරම්භ කළ මෙම සුවසැරිය මුලින් දකුණු සහ බස්නාහිර පළාත් වලට පමණක් සීම වූ අතර අද වන විට නැගෙනහිර පළාතේ හැර ශ්‍රී ලංකාව පුරාම ක්‍රියාත්මක වේ. දින 365 පුරාම කිසිදු අයකිරීමකින් තොරව ගිලන් රථ 297ක් සේවයේ යොදවා තිබේ. සුවසැරිය ගිලන්රථ සේවය බස්නාහිර පළාතේ රෝගියෙකු වෙත ලඟා වීමට විනාඩි 8යි තප්පර 23ක් වැනි ඉතා සුළු කාලයක් ගන්නා අතර එය එංගලන්තය වැනි වඩාත් දියුණු රටවල සේවාවට සමාන බවත් කොළඹින් පිට පළාත් වල විනාඩි 11 තත්පර 25ක් වැනි කාලයක් තුළ ගිලන් රථ සේවාව සැපයෙන බවත්ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දියානු සහනාධාර යටතේ ආරම්භ වුවත් මෙහි සියළුම කාර්ය මණ්ඩලය ශ්‍රී ලාංකිකයන් වන අතර ඔවුන්ව දේශීයව සහ විදේශීය පුහුණුව ලබා දී ඇත. දවසේ පැය 24 පුරාම මෙම සුවසැරිය මධ්‍යස්ථානයේ වෛද්‍යවරයෙකු සිටින අතර හදිසි ප්‍රතිකාර සඳහා උපදෙස් ලබා දේ. එම රෝගීන්ට අවශ්‍ය හදිසි ඖෂධ ගිලන් රථය තුල ඇති අතර එම ඖෂධ අපතේ නොයන පරිදි අතිරික්ත පවතින ගිලන් රථ වලට නිසි පරිදි ලබා දෙමින් කළමණාකරණය වේ.
මෙහිදී අදහස් දැක් වූ සුවසැරිය පදනමේ අධ්‍යක්ෂ මණ්ඩල සභාපති දුමින්ද්‍ර රත්නායක පැවසුවේ, මෙම නව හදිසි මෙහෙයුම් කළමනාකරණ පද්ධතිය හඳුන්වාදිමත් සමඟ ලෝකයේ එවැනි පද්ධති භාවිතා කරන මෙවැනි සේවාවන්ට නොදෙවෙනි තත්වයට සුවසැරිය පත්වෙනවා.මෙම පහසුකම සඳහා යන සැබෑ පිරිවැයට වඩා අඩු පිරිවැයක් අය කරමින් මෙරට මෘදුකාංග සමාගමක් විසින් මෙම තාක්ෂණය සංවර්ධනය කළා. මම ඔවුන්ට ස්තුතිය පිරිනමනවා.
මෙහිදී ස්මාර්ට් ජංගම දුරකථන පරිහරණය කරන ජනතාවගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටියේ, මෙම 1990 ඇප් පහසුකම ඩවුන්ලෝඩ් කරගෙන ජීවිත බේරාගැනීමේ මෙහෙයුමට එක්වන ලෙසයි.