ශ්රී ලංකාවේ විරැකියා ගැටලුවට ස්ථීරසාර විසඳුමක් ලබාදෙමින් සියලු රැකියා පුහුණු හා සම්පාදන මධ්‍යස්ථාන ඒකරාශි කොට දියුණු තාක්ෂණික ක‍්‍රමවේදයක් ඔස්සේ ව්‍යවසායකයන් බිහිකිරීම හා රැකියා පිරිනැමීමේ අරමුණ පෙරදැරිව ශ‍්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන දීප ව්‍යාප්තව ආරම්භ කිරීමට නියමිත ය.
ශ‍්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන ආයතනය ජනාධිපති කාර්යාලයේ ස්මාර්ට් ශ්රී ලංකා ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කෙරේ. තරුණ තරුණියන්ට තමන් තෝරාගත් වෘත්තීය මාර්ගයක සාර්ථක ගමනකට අවස්ථාවක් සලසාදීම, ව්‍යවසායකත්ව අවස්ථා, රැකියා බැංකු ඇතුළු ජාලගත වෘත්තීය තොරතුරු සේවාවක් සැපයීම, පෞද්ගලිකවම වෘත්තීය මාර්ගෝපදේශකයන් හමුවීමට අවස්ථාව, වෘත්තීය මාර්ගෝපදේශන සේවාව ජාත්‍යන්තර මට්ටමට උසස් කිරීම, රට පුරා පැතිරුණු වෘත්තීය මාර්ගෝපදේශන ආයතන ජාලයක් ගොඩනැංවීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය මුල්කරගත් තිරසර සංවර්ධන වැඩසටහන සහ තිරසර ජීවනෝපාය මාර්ග සංවර්ධනය වෙත තරුණ්‍යය යොමු කිරීම ද, තරුණ පරපුර අතරින් විරැකියාව තුරන් කිරීම, ස්වභාවික සම්පත් නිසි කළමනාකරණයකින් යුතුව භාවිතා කළ හැකි නව කර්මාන්ත හා ආයෝජන ඔවුන් වෙත හඳුන්වාදීම වැනි ගෝලීය ඉලක්ක ද මේ මගින් සපුරා ගැනේ.
මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා, ස්මාර්ට් ශ්රී ලංකා ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ජනරාල් එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා, මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ.වැල්ලහේවා මහතා, ස්මාර්ට් ශ්රී ලංකා ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ අජිත් ජයවර්ධන මහතා මාතර දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සී.එම්.සිරිවර්ධන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා මාතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 650 නියෝජනය කරමින් ආර්ථික සංවර්ධන නිලධාරීන් සහභාගි වී සිටියහ.
මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව හා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව වැඩසටහන සංවිධානය කරන ලදි.
DMU/Matara