ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    තමන්ගේ ජීවිතයට හෝ අනුන්ගේ ජීවිතයට හානි කිරීම බුද්ධ ධර්මයට අනුකූල නෑ- අගමැති

    ජූනි 29, 2019

    තමන්ගේ ජීවිතයට හෝ අනුන්ගේ ජීවිතයට හානි කිරීම බුද්ධ ධර්මයට අනුකූල නැති නිගන්ඨ නාථගේ ධර්මයට අනුකූල ක්‍රියාවක් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහෙයින් මාරාන්තික උපවාස කිරීම බුදු දහමට අපහාසයක් බව ද පෙන්වා දුන්නේය.

    සුළු සිද්ධියක් මහමෙරක් සේ විශාල කර පෙන්වීමට ජනමාධ්‍යයන්ට හැකි වුවත්, නිගන්ඨ නාථ පුත්‍රයන්, බුද්ධ පුත්‍රයන් බවට පත් කිරීමට ජනමාධ්‍යයට හැකියාවක් නැති බව ද වික්‍රමසිංහ මහතා පැවසීය.

    වික්‍රමසිංහ මහතා මේ අදහස් දැක්වූයේ (28) දින ලග්ගල මැතිවරණ කොට්ඨාශයේ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව ලග්ගල, නගරයේ පැවැති ඉඩම් හිමිකම් ඔප්පු සහ සමෘද්ධි හිමිකම් ලබාදීමේ උත්සවය අමතමිනි.

    මෙහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ අන්තවාදය හා ජාතිවාදය කිසි විටෙක බුද්ධ ධර්මයට අනුකූලල නොවන බවය. තමන්ගේ භාෂාව, ජන වර්ගය හා ආගම පිළිබඳව ආඩම්බර වීමට ඕනෑම කෙනෙකුට අයිතියක් ඇති බව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා පැවසූයේ, ඒ සමඟම අපි සියලූ දෙනාම ශ්‍රී ලාංකිකයන් ලෙස ද ආඩම්බර විය යුතු බවය. තමන්ගේ සංස්කෘතිය පිළිබඳව ආඩම්බර වීමටත්, අනෙක් සංස්කෘතීන්ට ගරු කිරීමටත් ශ්‍රී ලාංකිකයන් ලෙස අප පුරුදු පුහුණු විය යුතු බව ද වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

    මෙතෙක් කලක් සමෘද්ධිය මගින් සිදුවූයේ ජනතාව සමෘද්ධිමත් කිරීම නොව ඇතැම් දේශපාලනඥයින් සහ නිලධාරීන් සමෘද්ධිමත් වීම බව එම උත්සවය අමතමින් පැවසූ ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා, වසර 10 කට වඩා රජයේ ඉඩම්වල පදිංචිව සිටින ජනතාවට ඒවාහි සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමට ලබන මාසය වන විට කටයුතු කරන බව ද පැවසීය.

    මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත අලූවිහාරේ මහතා පැවසූයේ පසුගිය රාජපක්‍ෂ රජය හම්බන්තොට දිස්ත්‍රික්කය පමණක් කේන්ද්‍ර කර ගනිමින් සංවර්ධන ව්‍යාපෘති දියත් කළත්, 2015 දී බලයට පත් අපේ ආණ්ඩුව රටේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නංවමින් ජනතා අපේක්‍ෂාවන් ඉටු කරලීමට කටයුතු කරමින් සිටින බවයි. කොපමණ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වුව ද වත්මන් රජය රටේ සංවර්ධනය අමතක කර නැති බව පෙන්වාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය, ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ගම්පෙරළිය, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා, ළගම පාසල - හොඳම පාසල, සුරක්‍ෂා සිසු රක්‍ෂණය, බුදුපුත් සුරක්‍ෂා භික්‍ෂු රක්‍ෂණය, රන් මාවත් වැනි දැවැන්ත වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබෙන බව පැවසුවාය. වසර ගණනාවක සිට සමෘද්ධි හිමිකම් ලබා ගැනීමට නොහැකිව අසරණව සිටි ජනතාවට සමෘද්ධි හිමිකම් පත් ලබාදීම හරහා ඔවුන්ට දෙපයින් නැගී සිටීමට හැකි පරිසරයක් ගොඩනගා දීම ආණ්ඩුවේ අපේක්‍ෂාව බව මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රිනී තුසිතා විජේමාන්න මහත්මිය පැවසුවාය.

    මෙම අවස්ථාවට සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලූවිහාරේ, දඹුල්ල එක්සත් ජාතික පක්‍ෂ සංවිධායක ප්‍රියාන් විජේරත්න ප්‍රමුඛ දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, ඉඩම් හිමිකම් ඔප්පුලාභීන් සහ සමෘද්ධි හිමිකම්ලාභීන් ඇතුලූ විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya