රජයේ සංවර්ධන වැඩසටහන්, වර්තමාන අභියෝග සහ කදුරට ගම්මාන වල සිදුකරන ලද සංවර්ධනය පිළිබදව පැහැදිලි කරමින් 04 වනදා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවේදී කදුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන ඇමති පලනි දිගම්බරන් මහතා සිය අදහස් දක්වමින් මෙසේ පැවසීය.
2015දී අමාත්‍යංශය පැවතියේ වතු යටිතල පහසුකම් යන නාමයෙන් වුවද පසුව අගමැති සමග එක්වී එය කදුරට නව ගම්මාන යනුවෙන් වෙනස් කල බවද එතුමා සදහන් කරන ලදී.
තවද ඔහු පැවසූයේ 2015න් පසු වතුකරයට සිදුකල පළමු විශාලතම සංවර්ධනය මෙය බවත් මින් පෙර කිසිවෙකු මෙලෙස සංවර්ධනයක් සිදුකර නොමැති බවත්ය.
මින්පෙර වතුකරයේ ජනතාවට හිමි නොවූ විශේෂ වරප්‍රසාද රැසක් මේ ඔස්සේ ජනතාවට හිමිවී ඇති බව ඔහු ප්‍රකාශ කලේ පර්චස් හතේ තනි ගෙවල් ලබාදීම, වැසිකිළි සහ සනීපාරක්ෂක පහසුකම් ආදිය වතු ජනතාවට ලබාදීම පිළිබද සිහිගන්වමිනි. දැනට නිවාස 8133ක් සාදා නිමකර ඇති බවත්, නව නිවාස තුන්දහස් ගණනක් ඉදිකරමින් පවතින බවත් පැවසූ පලනි මහතා ඉන්දීය අගමැති මෝදි විසින් නව නිවාස 10,000ක් වතුකරයේ ජනතාව වෙත ලබාදීමට පොරොන්දු වූ බවද කියා සිටියේ ය.
වැඩිම ජල ප්‍රමාණයක් පවතින්නේ වතුකරයේ බවද, ලෝක බැංකු ආධාර ලබාගනිමින් වතුකරයේ ජනතාවට පිරිසිදු ජලය ලබාදීමට කටයුතු කල බවත්, වතුකරයේ පාරවල් කාපට් කිරීම හා නුවරඑළිය, මස්කෙළිය ආදී විශාල ජන සංඛ්‍යාවක් වෙසෙන ප්‍රදේශ සතුව පැවති ප්‍රාදේශීය සභා දෙක වෙනුවට කිහිපයක් ඉදිකරමින් ජනතාවට සහන සැලසූ බවත් වැඩිදුරටත් අවධාරණය කරන ලදී.
වතුකරයේ හිටපු ඇමතිවරු වත්තේ ඉපදී නැති බැවින් වතු ජනතාවගේ දුක නොහදුනන බවද පැවසූ ඔහු විපක්ෂයේ උදවිය කිසි දිනක ආණ්ඩුව කරන හොද වැඩ අගයන්නේ නැති බවත් තමා පිළිගන්නේ ජනතාව කියන දෙය බවත් වැඩිදුරටත් පවසා සිටියේ ය.
අමාත්‍යවරයාගේ අදහස් දැක්වීම අවසානයේදී මාධ්‍යවේදියෙකු වතු නිවාස ඉදිකිරීම පිළිබද නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස, වසර 2020 වන විට ගෙවල් 10,000ක් සාදා අවසන් කර තවත් ගෙවල් 10,000ක් සදහා මුල්ගල තැබීමට බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටියා. නුවරඑළිය දිස්ත්‍රික්කයට පමණක් සීමා නොවී වතුකරයේ ජනතාව ජීවත් වන සෙසු දිස්ත්‍රික්ක වන බදුල්ල, රත්නපුර, කෑගල්ල, දෙණියාය, යටියන්තොට,මාතර,මහනුවර ආදී ප්‍රදේශ රැසකද මෙම නිවාස නිවාස ඉදිකිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බවද පැහැදිලි කරන ලදී.
වතු සේවකයින්ගේ වැටුප් ප්රශ්නය පිළිබදව අඳහස් දැක්වූ අමාත්‍යවරයා, වතු සේවක වැටුප රුපියල් 50කින් වැඩිකිරීමට වූ පොරොන්දුව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කරගැනීමට අපේක්ෂිත බව කීය.