එම වැඩසටහන් මාලාවට අයත් ප්‍රධාන වැඩසටහනක් ලෙස දරුවන්ගේ පෞරුෂ සංවර්ධනය පිළිබඳ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන ඊයේ (04) මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මුල් ළමා වියේදී හා පාසල් අවධියේදී දරුවන්ගේ මානසික සෞඛ්‍යය ප්‍රශස්ත ලෙස පවත්වා ගැනීම තුළින් මනා පෞරුෂයකින් හා බුද්ධිමය වර්ධනයකින් යුතු නිරෝගී දරු පරපුරක් නිර්මාණය කිරීම සඳහා රාජ්‍ය අංශයේ කාර්යය භාරය සහ වගකීම පිළිබඳව අදාළ නිලධාරීන් දැනුවත් කිරීම මෙහි අරමුණ විය.
මෙම වැඩමුළුවට සම්පත් දායකත්වය ලබාදෙමින් මනෝ චිකිත්සක, මනෝ උපදේශක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා ප්‍රකාශ කළේ කායික දඩුවම් ලබාදීම තුළින් දරුවන්ගේ මානසික පෞරුෂයට හානි සිදු විය හැකි බැවින් කාරුණික හා සංවේදී
පරිසරයක් තුළ දරුවන් විනයානුකූලව ඇති දැඩි කිරීම වැඩිහිටියන්ගේ ප්‍රධාන වගකීමක් බවයි. නිවෙස් තුළ මෙන්ම පාසල් පරිසරයේත් බාහිර සමාජයේත් දරුවන්ගෙ සුරක්ෂිතතාව තහවුරු කිරීමේ වගකීමක් රාජ්‍ය නිලධාරීන් වෙත පැවරෙන බව ඒ මහතා පෙන්වා දුන්නේය.
ළමා සංවර්ධනය හා ආතතිය සම්බන්ධව මෙහිදී වෛද්‍ය චතුර අබේසූරිය මහතාද දේශනයක් පැවැත්වූ අතර දිස්ත්‍රික් ලේකම් ඩී.එස්.පත්මකුලසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුළුවට දරුවන් සුරකිමු ජාතික වැඩසටහනේ අධ්‍යක්ෂ අසංක ආර්. ද සිල්වා මහතාද එක්වී සිටියේය. දිස්ත්‍රික්කයේ සියලු පාසල්වල විදුහල්පතිවරුන්, ස්ථානභාර පරිවාස නිලධාරීන්, ළමා හා කාන්තා කාර්යාංශවල නිලධාරීන්, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්, ළමා ආරක්ෂක නිලධාරීන්, සමාජ සේවා නිලධාරීන් හා ආරක්ෂක අංශවල නිලධාරීන්ද ඇතුලු විෂයානුබද්ධ රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසකගේ සහභාගිත්වයේ මෙම වැඩමුළුව පැවැත්විණි.
මෙම ප්‍රධාන දැනුවත්කිරීමේ වැඩමුළුවට අමතරව රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහනට සමගාමීව දරුවන් සුරකිමු වැඩසටහන යටතේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11 පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් 19 ක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. එමෙන්ම දිස්ත්‍රික්කයේ රජයේ ළමානිවාස ගත දරුවන්ගේ ආකල්ප සංවර්ධනය අරමුණු කරගත් විශේෂ වැඩසටහන් 02ක්ද මේ කාලය තුළ පැවැත්වේ. දරුවන්ගේ සෞඛ්‍යය තහවුරු කිරීමේ අරමුණින් දිස්ත්‍රික්කයේ පෙර පාසල් 10ක් සඳහා ජල පෙරණ පද්ධති 10 ක් හා ළමා නිවාස 02ක් සඳහා ජල පෙරණ පද්ධති 04ක් ද මෙම වැඩසටහන යටතේ පිරිනැමීමට නියමිතය.
මොනරාගල දිස්ත්‍රික් මාධ්‍ය මධ්‍යස්ථානය
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව