ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    දිවයිනට බලපා ඇති අහිතකර කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට අවදානම් තත්ත්වයක්

    ජූලි 19, 2019

    මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ඇතිවී තිබෙන අහිතකර කාලගුණ තත්ත්වය පිළිබදව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා මාධ්‍ය වෙත සිය අදහස් දැක්වූයේය.

    ඒ අනූව රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතිවූ තත්ත්වය යම්තාක් දුරට පාලනය වී ඇති බව ආපදා කළමනාකරණ ඒකකය වාර්තා කරන අතර නාවික හමුදාවේ ඛණ්ඩ කිහිපයක් එම ස්ථාන වෙත ඊයේ සවස් වරුවේ යොමු කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර ඇත. විශේෂයෙන්ම අවශ්‍යතාවයක් ඇති වුවහොත් ජනතාව බේරාගැනීමේ මෙහෙයුම් දියත් කිරීම සදහා බෝට්ටු සහ උපකරණ සහිතව මෙම නාවික හමුදා භට පිරිස් එම ස්ථාන වල රැදී සිටියි.

    ඔවුන්ට එම කටයුතු සාර්ථකව සිදුකරගැනීම සදහා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සම්බන්ධීකරණය සහ දිස්ත්‍රික් ලේකම්තුමියගේ පූර්ණ අධීක්ෂණය නොඅඩුව ලැබෙමින් පවතී.

    ඊයේ දිනයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රත්නපුර, ඇලපාත, කිරිඇල්ල, අයගම යන ප්‍රදේශ වල ගංගා දෙපස සහ ගං වතුර අවදානමක් සහිත ප්‍රදේශ වල ජනතාවට එම ප්‍රදේශ වලින් ඉවත්වීම ඉතාම අත්‍යවශ්‍ය බව දැනුම්දුන් අතර එලෙස ඉවත් වූ ජනතාව ඉවත්වූ ප්‍රදේශවල තවදුරටත් එලෙසම රැදී පැවතීම වැදගත් බවත් පවසා සිටියි.

    ඊයේ දිනයේදීත්, ඊයේ රාත්‍රී කාලයේදීත් එම වර්ෂා සහගත තත්ත්වයේ කිසියම් අඩුවීමක් පෙන්නුම් කල අතර, ගංගා ජල මට්ටම් සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ලබාදුන් වාර්තාවන්ට අනූව රත්නපුර ප්‍රදේශයෙන් කලු ගගේ ජල මට්ටමේ වැඩිවීමක් පෙන්නුම් කරයි. නායයෑම් ලක්ෂණ දුටු වහාම නායයෑම් අනතුරු ඇගවීම් නිකුත් කරමින් ඊයේ දිනයේ රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 8ක ප්‍රමාණයක් අදාල ස්ථාන වලින් ඉවත් කර ඇත. මෙම තත්ත්වය සම්පූර්ණයෙන් පහව යන තුරු එම ඉවත් වුණු ප්‍රදේශ වල ජනතාව අදාල ආරක්ෂිත ස්ථාන වලම රැදීසිටීම ඉතාම වැදගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවදාරණය කර සිටියි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර ඇති නිවේදනය තවදුරටත් වලංගු වන අතර එම නිවේදනයන් රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට සහ ඕපනායක යන ප්‍රදේශ වල ජනතාවට කහ පැහැති වර්ණයෙන්ද, බලංගොඩ, කහවත්ත, කලවාන යන ප්‍රදේශ වල ජනතාවට ඇම්බර් කලර් වර්ණයෙන්ද, රත්නපුර සහ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට රතු පැහැති වර්ණයෙන්ද ලබාදී ඇත.

    මෙම නිවේදන පිළිබද රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව විශේෂ අවදානයක් යොමු කිරීම වැදගත් වන අතර රතු වර්ණයෙන් නිවේදන නිකුත් කළ ප්‍රදේශ වල ජනතාව මෙම තත්ත්වයන්ට මුහුණ දීම සදහා අදාල ප්‍රදේශ වලින් ඉවත් වීමට සූදානම්ව සිටිය යුතු වනවා. රත්නපුර සහ ඉඹුල්පේ ප්‍රදේශයේ ජනතාවට දිස්ත්‍රික් කළමනාකරණ ඒකක හරහා එම පණිවිඩ අඛණ්ඩවලබාදීමට කටයුතු කර ඇති අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ නුවරඑළිය යන ප්‍රදේශ සදහා ඇම්බර් කලර් වර්ණයෙන් දෙවන නිවේදනයද මේ වන විට නිකුත් කර ඇත.

    රතු වර්ණයෙන් නිවේදන නිකුත් කල කොත්මලේ ප්‍රදේශයට අධික වර්ෂාවක් ලැබුණු බැවින් එම ප්‍රදේශ වල ජනතාව හදුනාගත් ප්‍රදේශ වලින් තාවකාලිකව ඉවත් කිරීම මේ වන විට සිදුකර ඇත. මහනුවර දිස්ත්‍රික්කය පිළිබදව සලකා බැලීමේදී අදියර එක යටතේ දොනුව සහ උඩුතුරුව යන ප්‍රදේශ වලට නිවේදන නිකුත් කර ඇති අතර, උඩ පළාත නම් ප්‍රදේශය සදහා රතු වර්ණයෙන් නිවේදන නිකුත් කර ඇත.
    පළමු ඛාණ්ඩයේ නිවේදන කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, දැරණියගල, යටියන්තොට යන ප්‍රදේශ වලටද කලුතර ප්‍රදේශයේ බුලත්සිංහල, පාලින්ද‍නුවර, ඉංගිරිය, දොඩන්ගොඩ සහ මතුගම යන ප්‍රදේශ සදහාත් මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර සහ ගාල්ල දිස්ත්‍රික්කයේ නෙලුව සදහා නිකුත් කර ඇත.
    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අදාල නිවේදන නිකුත් කල ප්‍රදේශ වල ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පසුගිය පැය 24 පුරාවට අධික වර්ෂාවක් එම ප්‍රදේශ වලට ලැබී ඇති බැවින් නායයාම් ලක්ෂණ පිලිබදව විශේෂ අවදානයෙන් පසුවන බවයි. මෙහිදී නායයාම් ලක්ෂණ ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ පස් ගැලවීම්, පොළොවේ ඇති වන පැලුම්, බිත්ති වල පහල සිට ඉහලට ඇති වන ඉරිතැලීම්, ආගන්තුක දිය උල්පත් මතුවීම්, ගල්කැට පහලට ගලාඒම් ආදියයි.


    මෙම ලක්ෂණ දුටු වහාම අදාල ප්‍රදේශ වලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන වෙත යාමට කටයුතු කරන ලෙසත්, නායයාම් නිවේදනය අද සවස් වන තෙක් වලංගු වන බවත්, ඒ පිළිබදව අවදානය යොමු කිරීම ඉතාම වැදගත් වන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අදාල ප්‍රදේශ වල ජනතාවට වැඩිදුරටත් පවසයි.

    රත්නපුර ප්‍රදේශයෙන් තවදුරටත් කලුගගේ වැඩිවීමක් පෙන්නුම් කරන අතර, කැළණි ගගේද මේ වන විට ස්ථාන දෙකකින් යම් වැඩිවීමක් පෙන්නුම් කරයි. කිතුල්ගල ප්‍රදේශයෙන් ජල මට්ටම වැඩිවීමක් පෙන්නුම් කරන බැවින් ගග දෙපස ජනතාව අවදානයෙන් පසුවිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.

    දැනට පවතින ආපදා තත්ත්වය යම්තාක් දුරට සමනය වී ඇතත් වැසි සහිත තත්ත්වයත් සමග පවතින සුළං සහිත තත්ත්වය නිසා ගස් අතු කඩාවැටීම් රැසක් වාර්තා වී ඇත. එමගින් කිසිවෙකුට හානිදායක තත්ත්වයක් වාර්තා නොවූවත් කොළඹ, කලුතර, නුවරඑළිය ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක මාර්ග අවහිරවීම් කිහිපයක් වාර්තා වී ඇත. ඒ සදහා අවශ්‍ය පරිදි ප්‍රතිචාර දැක්වීමට දිස්ත්‍රික් කළමනාකරණ ඒකකයන් කටයුතු කර ඇත.


    ඉදිරි ආපදා කළමනාකරණ කටයුතු වෙනුවෙන් රට පුරා ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු සියලුම කණ්ඩායම් සූදානමින් සිටින අතර හදිසි තත්ත්වයක් ඇති වුවහොත් එම සියලුම අංශ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් සහ ආපදා කළමනාකරණ අමාත්‍යංශයෙහි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙහි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙහි, ජාතික ආපදාසහන සේවා මධ්‍යස්ථානයෙහි සහ ප්‍රාදේශීය මට්ටමෙහි සියලුම නිලධාරීන් මෙම ආපදා තත්ත්වයන් වෙනුවෙන් පැය 24 පුරාම යෙදී සිටියි.


    ආපදා කළමනාකරණ අමාත්‍යංශය සෑම දිස්ත්‍රික් ලේකම්වරයෙකු හටම පූර්ව ආපදා සූදානම් සදහා රැපියල් මිලියනයක මුදලක් ලබාදී ඇති අතර ඉදිරියේදී අවශ්‍ය වුවහොත් එම සියලුම මුදල් සම්පාදනය කිරීම සදහා අමාත්‍යංශය සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය සූදානමින් සිටියි. ජනතාවට ආපදාවන් පිළිබදව දැනුම්දීමට 117 දුරකතන අංකය විවෘතව පවතී. ගංගා ජල මට්ටම් පිළිබදව විශේෂ අවදානයෙන් පසුවන ලෙසත්, ඉවත් වුණු ජනතාව තවදුරටත් එම ස්ථාන වලම රැදී සිටින ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.


    එම මධ්‍යස්ථානය ධීවර අංශ වෙත පවසා සිටින්නේ මන්නාරමේ සිට පුත්තලම, කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් යන ප්‍රදේශ වල ධීවර හා නාවික කටයුතු වලින් වැළකී සිටීම තවදුරටත් සිදුකල යුතු බවයි.
    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත අනූව නැවත නැවතත් ජනතාව දැනුවත් කිරීමට නියමිත අතර එම සියලු දැනුවත්කිරීම් සමග ඒ සදහා අවැසි ප්‍රතිචාර ලබාදෙන ලෙසත් දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට බලපා ඇති අහිතකර කාලගුණ තත්ත්වය පිළිබද නිරන්තර දැඩි අවදානයෙන් පසුවන ලෙසත් සමස්ත ජනතාවගෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya