පඩුවස්නුවර මැතිවරණ කොට්ඨාශයේ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමට සහ අවසන් කළ ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසීය.
බරම්පොල – හමන්නාපහුව මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීම, කහටවිල – නුගවෙලගම මාර්ගයේ සංවර්ධන කටයුතු ඇරඹීම, හෙට්ටිපොල සතිපොල විවෘත කිරීම සහ බණ්ඩාර, කොස්වත්ත මුස්ලිම් මහා විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම ද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
එහිදී පැවැති ජනහමුව ඇමතූ අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසිය.
පාස්කු ඉරිදා බෝම්බ පිපිරී මේ වනවිට මාස තුනක් ගතවී තිබෙනවා. මේ ප්‍රහාරය නිසා ජනතාව තුළ එදා ඇතිවූ විශාල බිය රට පුරා පැතිරගියා. දිගින් දිගටම බෝම්බ පිපිරෙනු ඇතැයි ඇතැම් අය විශ්වාශ කළා. ආර්ථිකය කඩාවැටී රට විනාශ වනු ඇතැයි බොහෝදෙනා සිතුවා. නමුත් ප්‍රහාරය එල්ලවී මාස තුනක් ගතවන විට රටේ යළි ස්ථාවරභාවයක් ඇතිකරගැනීමට අපට හැකිව තිබෙනවා.
රටේ ස්ථාවරභාවයක් ඇතිකළ පමණින් සෑම ප්‍රශ්නයක්ම අවසන් යැයි අප නොසිතිය යුතුයි. පාස්කු ප්‍රහාරය සිදුවී මාස තුනක් ගත වනවිට රටේ ස්ථාවර භාවයක් ඇති වුවද ඊට වඩා වැඩි අභියෝගයකට අපට මුහුණදීමට තිබෙනවා. ඒ රට ණය බරින් මුදාගෙන, ආර්ථිකය දියුණු කර රට ඉදිරියට ගෙන යෑමේ සටනටයි. පසුගිය රජය ඉවක් බවක් නොමැතිව ණය ගැනීම හේතුවෙන් අද මේ රට විශාල ණය බරක සිරවී සිටින අතර ඉදිරි වසර 5 තුළ මේ ණය බර ගෙවාදැමීම සඳහා රටේ අපනයනය වැඩිකර, ආදායම් මාර්ග වැඩි කළ යුතුයි. ඒ වගේම අනෙකුත් ක්ෂේත්‍රවලද දියුණුවක් ඇති කළ යුතුයි. ඒ අනුව අනාගත ආර්ථික අභියෝග ජයගැනීම සඳහා අප ශක්තිමත්ව ඉදිරියට ගමන්කළ යුතුයි.