ජනවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    කොළඹ කසළ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක්

    අගෝස්තු 09, 2019

    විවිධ පාරිසරික සහ සමාජයීය හේතූන් මත කොළඹ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය මඟින් ක්‍රියාත්මක වන්නට තිබු කොළඹ කුණු අරුවක්කාලු ප්‍රදේශයට ප්‍රවාහනය කිරීම සහ කසළ අංගනය ඉදිකිරිම ප්‍රමාද වූවත්, එකී හේතූන් නිරාකරණය කර ගනිමින් මධ්‍යම පරිසර අධිකාරියේ සහ වයඹ පළාත් පරිසර අධිකාරියේ පාරිසරික අනුමැතිය ද සහිතව අරුවක්කාලු ප්‍රදේශයට කොළඹ කුණු ප්‍රවාහනය කිරීමට සියළු කටයුතු සුදානම් බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ මහතා පැවැසීය.

    ඒ මහතා මේ බව පවසා සිටියේ ඊයේ (08) මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    ඝණ අපද්‍රව්‍ය වැඩසටහන මඟින් ප්‍රථම ව සැළසුම් කළ පරිදි කොළඹ කුණු කැළණිය කුණු හුවමාරු මධ්‍යස්ථානය වෙත ගෙන ගොස් ඉන්පසු දුම්රිය හරහා අරුවක්කාලු වෙත ප්‍රවාහනය කර කසළ නිසි පරිදි බැහැර කිරීමට නියමිත නමුත්, පවතින තත්ත්වය හමුවේ කඩිනම් විසදුමක් ලබා දෙන අටියෙන් අතරමැදි ක්‍රියාවලියක් ලෙස කසළ අංගනයක් ඉදි කොට ඊට කසළ බැහැර කිරීමට කටයුතු කරන බවයි.


    ඒ අනුව, දිනකට කසළ ටොන් 600 ක් දැමිය හැකි කසළ අංගනයක් පළමුව පිළියෙළ කරමින් එකී උප ව්‍යාපෘතිය මෙම වසරේ මාර්තු වන විට නිම කිරීමට හැකි වූ බවත් ඒ මහතා මෙහි දී පැවසීය. එම කසළ අංගනය වෙත නිසි පරිදි කොළඹ කුණු ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් කොළඹ මහා නගර සභාවේ අනුමැතිය කඩිනමින් ලැබීමට නියමිත බවත්, ඒ අනුව, මෙම කුණු ප්‍රවාහන ක්‍රියාවලිය ඉතා ඉක්මණින් ක්‍රියාත්මක කළ හැකි බව රූපසිංහ මහතා පැවසීය.


    මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ වගකීම වන්නේ කසළ බැහැර කිරීමට සුදුසු ස්ථානයක් තෝරා ගෙන කොළඹ තුළ උද්ගත ව ඇති කුණු ප්‍රශ්නයට ස්ථිර මෙන්ම පරිසරයට හානි නොවන සේ ඉංජිනේරුමය වශයෙන් විද්‍යානුකූල විසඳුමක් ලබා දීමයි.

    රටේ ජාතික ප්‍රශ්නයක් වන කුණු ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබා දීමට මෙමඟින් හැකි වන බවත්, මේ සඳහා දේශීය විදේශීය උපදේශකවරුන්, පළපුරුදු ඉංජිනේරුවන්, මොරටුව විශ්ව විද්‍යාලයීය ආචාර්යවරුන් මෙන් පාරිසරික විශේෂඥවරුන් ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය හා සම්බන්ධව මෙම කටයුත්ත සාර්ථක කර ගැනීමට එක් වී සිටින බවත්, පැවසූ රූපසිංහ මහතා මෙම ව්‍යාපෘතිය 2020 වසරේ මාර්තු වන විට සියළු ඉදිකිරීම් වැඩ කටයුතු නිම කිරීමට නියමිත බව ද සඳහන් කළේය.

    මෙම මාධ්‍ය හමුව සඳහා ව්‍යාපෘති අධ්‍යක්ෂ සරත් බණ්ඩාර, හිටපු ව්‍යාපෘති අධ්‍යක්ෂ ජයවිලාල් ප්‍රනාන්දු, මහාචාර්ය මහේෂ් ජයවර්ධන යන මහත්වරු ද මේ සඳහා අදහස් දක්වනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya