සාම්ප්‍රදායික රැකියා කිහිපයක් ගැන සිහින මැවීම වෙනුවට අනාගත ලෝකයේ චලනයන් හඳුනාගනිමින් දරුවන්ට ඉදිරියට යන්නට 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන තුළින් අවස්ථාව සලසා දී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අධ්‍යාපනයේ විශ්වීය හැරවුමක් සනිටුහන් කරමින් අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ මගපෙන්වීම අනුව ක්‍රියාවට නැංවෙන 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ වෘත්තීය පුහුණුව ලබන සිසුන් සඳහා රුපියල් 500ක දෛනික දීමනාවක් ලබාදීම ට අදාළ ව බැංකු පොත් ප්‍රදානය කිරීමේ නිල උත්සවය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති අතර, එම උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.
මෙම වැඩසටහන යටතේ වෘත්තීය පුහුණුව ලබන සිසුන්ට දැනටමත් ප්‍රමුඛ පෙළේ වෘත්තීය සමාගම් වෙතින් විශාල ඉල්ලුමක් පවතින බව ද, ඔවුන්ගේ නිපුණත්වය ඉහළ වැටුප් සහිත වෘත්තීය අනාගතයක් සලසා ගැනීමට හැකිවන බව ද අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.
උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරන සියලු සිසුන්ට ස්වකීය වසර දෙකක අධ්‍යයන කාලසීමාවෙන් ආයතනගත වෘත්තීය පුහුණුව ලබන දින 240ක කාලසීමාව සඳහා ඔවුන්ගේ පැමිණීම මත දෛනික ව රුපියල් 500ක් බැගින් වන දීමනාවක් ලබාදෙයි. ඒ අනුව එක් සිසුවෙකුට තම පුහුණු කාලය වෙනුවෙන් රුපියල් එක්ලක්ෂ විසිදහසක (රු 120,000/-) මුදලක් ලැබෙනු ඇත. ඒ අනුව මේ සඳහා 2019 වසරේ රජයට වැයවන සම්පූර්ණ මුදල රුපියල් මිලියන 540කි.
13 වසරක අධ්‍යාපන වැඩසටහනෙහි පළමු අදියර යටතේ උසස් පෙළ වෘත්තීය විෂය හදාරන සිසුන් සංඛ්‍යාව 1545කි. ඊළඟ අදියර තුළ සිසුන් 6100ක් පුහුණුවීමට අපේක්ෂිත ය.
සාමාන්‍ය පෙළ සමත් අසමත්භාවය නොසලකා සියලු පාසල් දරුවන්ට වසර 13ක සහතික කළ අධ්‍යාපනයක් ලබාදීමට හැකිවන අයුරින් උසස් පෙළ විෂයයන් 26ක් සහිත ව වෘත්තීය විෂය ධාරාවක් මේ යටතේ හඳුන්වා දී ඇති අතර, මෙම පුහුණුව සාර්ථක ව නිමකරන සියලු පුහුණුලාභීන් වෙත වෘත්තීය ක්ෂේත්‍රය තුළ ජාතික මෙන් ම ජාත්‍යන්තර මට්ටමේ ද පිළිගැනීමක් හිමිවන අතර, විශේෂයෙන් ම ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ Level 4) සහතිකය මෙන් ම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් පිරිනමන වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ උසස් සහතිකය ද (Advanced Certificate in Vocational Education) මෙම සිසුන්ට හිමිවෙයි.
ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 16ත් 24ත් අතර පසුවන්නන්ගෙන් 25%ක ප්‍රතිශතයක් කිසිදු අධ්‍යයන කාර්යයක හෝ වෘත්තීය පුහුණුවක නිරත නොවන බව සමීක්ෂණ දත්ත මගින් හඳුනාගත් අතර ඊට විසඳුමක් ලෙස මෙම වෘත්තීය අධ්‍යාපන ප්‍රවේශය හඳුන්වාදීමට පියවර ගැනුණි. ශ්‍රී ලාංකික ආර්ථිකය සවිබල ගැන්වීම සඳහා අපේක්ෂිත, නව ලොවට ගැළපෙන ශ්‍රම බළකාය නිර්මාණය කිරීමට අවැසි දායකත්වය පාසල් පද්ධතිය තුළින් ම සම්පාදනය කරමින් නිපුනතා සපිරි වෘත්තිකයන් ගොඩනැංවීම 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහනෙහි මූලික අපේක්ෂාවයි. මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය, වෘත්තීය පුහුණු හා නිපුනතා සංවර්ධන අමාත්‍යාංශය සමඟ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන රැසක් එක්ව සිටියි. 2017 වසරේ දී පාසල් 42ක් තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන ලද මෙම වැඩසටහන මේ වනවිට සෑම අධ්‍යාපන කොට්ඨාසයක් ම නියෝජනය වන අයුරින් පාසල් රැසක ක්‍රියාවට නැංවෙයි.
මේ අවස්ථාවට වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම් එන් රණසිංහ මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් රැසක් ද සහභාගී වූහ.