මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ, කැළණිය වත්තල ප‍්‍රදේශයේ ගංවතුර පාලනය සඳහා විසඳුමක් ලෙස දේශීය තාක්ෂණයෙන් සහ සැළසුම් අනුව ඉදිකෙරෙන ඔලියමුල්ල ජල පොම්පාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,‘ මේ කලාපය අද අලූත් මගකට මුල පුරන දවසක්. අපි දන්නවා මේ කොළඹ නගරයේ පිටතට, විශේෂයෙන්ම පෑලියගොඩ, වත්තල, කොලොන්නාව ප‍්‍රදේශවලට පසුගිය දශක දෙකක පමණ කාලයක තුළ විවිධ රටේ පළාත් වලිනුත්, කොළඹ නගරෙනුත් ඒ වගේම මේ පළාතේ ජීවත් වූ අයත් හැටියට පවුල් 90,000 ක් පමණ එතරම් යහපත් නොවන නිවාස පද්ධතිවල ජීවත් වෙනවා. ඒ වගේම ඒ අය නිරන්තරයෙන්ම මේ ගංවතුර උවදුරට ලක්වෙනවා. මේ කාලගුණ දේශගුණික විපර්යාසවලට අපේ රටත් අද ගොදුරු වෙලා තිබෙනවා. ලෝකයේ ඇතැම් කලාපවල ගංවතුර, ඇතැම් ප‍්‍රදේශවල ලැව්ගිනි. තවත් කලාපවල නියඟය. ලංකාවෙත් එහෙමයි. එම නිසා අපට ඉදිරියේදී රටක් හැටියට, ශිෂ්ඨාචාරයක් හැටියට මුහුණ දෙන්න තිබෙන විශාලම ගැටළුව මේ ජලයෙන් අපට එල්ලවෙන අභියෝගය.
හදිසි වැසි, අධික වැසි, අනෙක් පැත්තෙන් නියඟය. මේකට අපි මුහුණ දෙන්න නම් මේ කැළණි ගඟ අපි පාලනය කරන්න ඕනේ. මේ රට අපි ආනගතය ගැන හිතුවා නම් මහවැලි ගඟට කලින් කලමනාකරණය කරන්න, පාලනය කරන්න, බහුකාර්ය යෝජනාවක් ගේන්න තිබුණේ කැළණි ගඟට. අප විසින් අද ඒක ගෙනවිත් තිබෙනවා. මේ කැළණි ගඟ දෙපස ගංවතුර පාලනය සඳහා පොම්පාගාර ඉදිකරන්න. ඒ වගේම පැති බැමි ඉදිකරන්න. ඒ වගේම කැළණි ගඟ ප‍්‍රවාහන කි‍්‍රයාවලියට දායක කර ගන්න. ඒ වගේම කැළණි ගඟ අවට නව නගර ඉදිකරන්න. එයින් එක ප‍්‍රධාන මධ්‍යස්ථායක් තමයි මේ පෑලියගොඩ. ඒ වගේම මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ලබන ඔක්තොම්බර් සිට කඩවත සිට කෙරවලපිටිය දක්වා අධිවේගී මාර්ගය සම්බන්ධය ඇතිවෙනවා. එතකොට ඒ කෙරවලපිටියේ සිට මාතරට, ඒ වගේම කඩවත හරහා මධ්‍යම අධිවේගී මාර්ග පද්ධතියට කෙරවලිපිටිය සම්බන්ධ වෙනවා. ඒ නිසා නවීන නේවාසික පහසුකම් සහිත නගරයක්, කෙරවලපිටියට අවශ්‍යයි.
ඒ වගේම අපි ලබන වසරේ ජනවාරි මාසයේදී මැනිං වෙළෙඳ සංකීර්ණය මේ ස්ථානයට ගෙන එනවා. කඩසාප්පු 1200 ක් සමග. අපි බලාපොරොත්තු වෙනවා කොළඹ තිබෙන සියළුම තොග වෙළෙඳාම ඊ ළඟ අදියරේදී එම ස්ථානයට ගෙන එන්න. එවිට මේ කලාපය බලගතු ආර්ථික කලාපයක් වෙනවා. හැබැයි ඒ සමගම සමාජ ප‍්‍රශ්න ඇතිවීමට නියමිතයි. අපට මේ අවස්ථාවේදී මේ කලාපය තුළ නිවාස ලබාදීමට නොහැකියි. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලීමක් කළා හේනමුල්ල නිවාස සංකීර්ණයට යන්න කියලා. නමුත් අපි ඉදිරියේදී මේ පෑළියගොට තෝරාගෙන තිබෙනවා අඩුආදායම්, අවවරප්රසාදිත ජනතාවට නිවාස යෝජනා ක‍්‍රමයක් ගෙන එන්න. මේ වසරේදී එහි වැඩකටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා නාගරික සංවර්ධන අධිකාරිය මගින්.
ඒ නිසා ගංවතුරෙන් බැටකාපු ඒ වගේම නිරන්තරයෙන් ගැටළුවලට මුහුණ දුන් ඒ ජනතාවට ඒ සහනය ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. මේ ගංවතුර ගැටළුව විසඳා ගැනීමෙන් හා අපේ මේ දුගී ජනතාවගේ නිවාස ප‍්‍රශ්නය විසඳා ගැනීමෙන් පසුව, ඒ වගේම ඊ ළඟ වසර 3 ඇතුළතදී මේ අධිවේගී මාර්ග පද්ධතිය නිමාවෙලා මෙම ස්ථානයෙන් වරාය නගරයට මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඉදිකරනු ලබන ගුවන් මාර්ගය හැදුනට පසුව, අනෙක් මාර්ගය රාජගිරියට ඉදිවුනාට පසුව මේ ප‍්‍රදේශය කොළඹින් පිටත තිබෙන දියුණුම නගරය බවට මේ පෑලියගොඩත්, කෙරවලපිටියත් පවත්වෙනවා කියන එක අපි බොහොම ආඩම්බරයෙන් ප‍්‍රකාශ කරනවා යැයි පැවසීය.