ජනවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    සුරක්ෂා  රක්ෂණයෙන්  සිසුන් 23,800කට රුපියල් මිලියන 1,150කට ආසන්න ප්‍රතිලාභ ලබා දී අවසන්

    අගෝස්තු 28, 2019

    නිදහස් අධ්‍යාපන අවස්ථා තවදුරටත් පුළුල් කරමින්, දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරුකිරීමේ පරමාර්ථයෙන්, දිවයිනේ සියලුම ජාතික සහ පළාත් පාසල්, පෞද්ගලික පාසල් හා ජාත්‍යන්තර පාසල් සහ පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සියලු ම සිසුන් සඳහා වත්මන් රජය විසින් නොමිලේ ලබාදෙන සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ ප්‍රතිලාභ ලබා දීම මේ වනවිට වේගවත් ව ක්‍රියාවට නැංවෙමින් පවතී.

    ඒ අනුව මේ වනවිට  සුරක්ෂා රක්ෂණ ප්‍රතිලාභ සඳහා හිමිකම් ලැබූ සිසුන් සංඛ්‍යාව 23,800ක් වන අතර, රුපියල් මිලියන 1,150/- ක් ප්‍රතිලාභ මුදලක් මේ වනවිට ගෙවා අවසන් ව තිබේ. මේ අතර සිසු හාදෙමව්පිය මරණ 4,000ක් සහ රෝහල්ගතවීම් 19,500ක් ද මීට ඇතුළත් ය.

    ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකාවේ සියලු ම පාසල් දරුවන් එකවර රක්ෂණය කරමින් ක්‍රියාත්මක වන සුරක්ෂා රක්ෂණ වැඩපිළිවෙළ මගින් දරුවන්ගේ රෝගාබාධ, හදිසි අනතුරු හා විපත් හමුවේ දෙමව්පියන්ටත්, දෙමව්පියන් අහිමිවීමක දී දරුවන්ටත් දරන්නට වන ආර්ථික පිරිවැය රජය විසින් පවරාගෙන සිටින අතර, දිවයින පුරා විසිර සිටින, විවිධ ආර්ථික මට්ටම්වල පසුවන ඕනෑම මව්පියෙකුට දරුවන්ගේ අසනීප තත්වයන් හමුවේ ඉතා පහසුවෙන් අවශ්‍ය පූර්ණ ප්‍රතිකාර වෙත යොමුවන්නට ද මෙම රක්ෂණාවරණ වැඩපිළිවෙළ හරහා ඉඩප්‍රස්ථා සලසා තිබේ.

    අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස්  අනුව, මෙවර සුරක්ෂා රක්ෂණාවරණයේ ප්‍රතිලාභ වැඩිකිරීමට සුවිශේෂී පියවර කිහිපයක් ගෙන ඇත. රජයේ රෝහල්ගතවන දිනකට ගෙවන මුදල රුපියල් 1000/- සිට රුපියල් 3000/- තෙක් වැඩිකිරීම, බාහිර ප්‍රතිකාර යටතේ ශ්‍රව්‍ය-දෘශ්‍ය උපකරණ, ඇස් කන්නාඩි වැනි උපකරණ ලබාගැනීමේ හැකියාව, විශේෂඥ වෛද්‍ය සේවා ගාස්තු ලබාගැනීමට හැකියාව, මුදල් ගෙවීමකින් තොරව රෝහල්ගතවීමේ හැකියාව සහ රුපියල් 200000 ඉක්මවන විට අමතරව වැඩිවන මුදල පමණක් දැරීමට අවස්ථාව, අසාධ්‍ය රෝග ආවරණය, රෝහල්ගතවීමට පෙර දින 7ක් සඳහා සහ රෝහලෙන් පිට වූ පසු දින 14ක් දක්වා බෙහෙත් ලබාගැනීමේ හැකියාව ද ලබා දීම  ඒ අතර ප්‍රමුඛ වේ.

    දෙමාපිය වියෝවක දී හදිසි අනතුරු මරණ සඳහා පමණක් ලබාදුන් රක්ෂණ ප්‍රතිලාභය ස්වභාවික මරණ හදිසි අනතුරු මරණ යන සියල්ල ආවරණය කරමින් ලබාදීම, (සියදිවි නසාගැනීම් වැනි නීතිවිරෝධී මරණ හැර) මානසික ආබාධ, පෝෂණ ගැටළු යන අවස්ථාවන් ද ආවරණය කිරීම ද මෙවර සුරක්ෂා රක්ෂණාවරණයේ තවත් විශේෂත්වයකි.

    සුරක්ෂා රක්ෂණාවණ ප්‍රතිලාභ සඳහා අයදුම් කිරීමේ දී කළ යුතු වන්නේ,  0112369369  අංකයට හෝ 0113641555 අංකය ඇමතීම හෝ අලියාන්ස් ඉන්ෂුරන්ස් ආයතනයේ ශාඛාවකින් හෝ කලාප අධ්‍යාපන කාර්යාලයකින් අවශ්‍ය තොරතුරු ලබා ගැනීමයි. 2018 දෙසැම්බර් 01 දින සිට පසුගිය කාලයට අදාළව මෙතෙක් ප්‍රතිලාභ ඉල්ලුම් කර නොමැති සිසුන්ට ද මේ සඳහා ඉල්ලුම් කළ හැකියි.

    මේ සම්බන්ධ ව වැඩිදුර තොරතුරු www.moe.gov.lk   අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන් හෝ, පාසල් සෞඛ්‍ය හා පෝෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල ලිපිනයෙන් හෝ, කළමනාකරු, සුරක්ෂා රක්ෂණාවරණය, අලියාන්ස් ඉන්ෂුරන්ස් ලංකා ලිමිටඩ් ආයතනය, නො 46/10, නවම් මාවත, කොළඔ 02 ලිපිනයෙන්  ද ලබාගත හැකියි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya