හැඩ වැඩ පිරි නීරෝගී තරුණ පරපුරක් වෙනුවෙන් අද ඉටුකල යුතු වගකීම සිහිගැන්වීම සදහා ශ්‍රී ලාංකේය තාරුණ්‍යය අපේ හොදම ආයෝජනයයි යන මැයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශීය ශ්‍රවණාගාරයේ දී අගෝස්තු 30 විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති සමුළුවේදී ඇය මේ බව පැවසුවාය.
රටක ආර්ථික සමාජීය සංවර්ධනය උදෙසා තාරුණ්‍යය සවිබල ගැන්වීම ප්රමුඛ අවශ්‍යතාවයකි. ගුණ නැණ පිරි කුසලතාවයන්ගෙන් පිරිපුන් තාරුණ්‍ය රටට වඩාත් අගය ඇති සම්පතකි. වසර 2030 දී ලංකාව අත්පත් කරගත යුතු ඉලක්ක ජය ගැනීම සදහා සවිබල ගැන්වුණු තාරුණ්‍යය ඉතා වැදගත් වෙයි. ඒ අනූව තාරුණ්‍ය උදෙසා කරනු ලබන ආයෝජනය නැවත ප්‍රතිඵල ලැබෙන මහගු ආයෝජනයකි.
ලංකාවේ ජනගහණයෙන් හතරෙන් එකක් නියෝජනය කරනුයේ තාරුණ්‍යයයි. මෙයින් නව යොවුන් විය නියෝජනය කරන්නන් වයස අවුරුදු 10ත් 19ත් අතර වන අතර, තරුණ විය නියෝජනය කරනුයේ අවුරුදු 15ත් 24ත් අතර පිරිසය. 2018 වසරේ අප රටේ අයවැයෙන් 4.47%ක් සෞඛ්‍ය වෙනුවෙන් ද 2.58%ක් අධ්‍යාපනය වෙනුවෙන්ද වෙන්කර ඇති අතර ලොව බොහෝ රට වල සෞඛ්‍ය සදහා අයවැයෙන් 11%ක් පමණ වෙන්කර ඇත. මේ අනූව අප රටේ සෞඛ්‍ය වෙනුවෙන් වෙන්කල මුදල් ප්‍රමාණය වැඩිකරගත යුතු බව විශේෂඥ වෛද්‍ය ජානකී මහත්මිය සිය කතාව තුළදී අවදාරණය කළාය. තාරුණ්‍ය පිළිබදව පැවැත්වූ සිය දේශණයේදී ඇය විශේෂ කරුණු කිහිපයක් පිළිබදව අවධාරණය කළේය. ලිංගිකව එකතු වීමේ වයස, කසාද බැදීමේ වයස සහ ගබ්සා නීතිය පිළිබදවද ඇය මෙහිදී කරුණු ඉදිරිපත් කළේය. නිසි ලිංගික අධ්‍යාපනයක් තරුණ ප්‍රජාවට ලබාදීම තුළින් සෞඛ්‍යමය සහ සමාජීය ගැටලු රැසක් ඇතිවීම වළක්වාගත හැකි බව ද ඇය පැවසුවාය.
සුළු වැරදි සදහා වැරදිකරුවන් වූ අවුරුදු 16 -18 ත් අතර වයසේ පසුවන තරුණ වරදකරුවන් සදහා ලබාදෙන වසර 03ක දඩුවම් කාලය අඩුකර ගැනීමට වගකිවයුතු පාර්ශව වල අවධානය යොමු විය යුතු බවත්, එමගින් තරුණ ප්‍රජාව නොමග යා නොදී රැකගත හැකි බවටත් වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.
අප රටෙහි ආර්ධිකය සදහා කාන්තා දායකත්වය 40%ක් පමණක් බවත්, මෙම තත්ත්වය වැඩිකර ගැනීම සදහා කාන්තාවන්ට අවස්ථාවන් ලබාදීමට නම් ආකල්පමය වෙනසක් අත්‍යවශ්‍ය වන බවත් පැවසූ වෛද්‍යවරිය, තරුණ ප්‍රජාව සදහා වයසට ගැලපෙන ලිංගික අධ්‍යාපනයක් ලබාදීම තුළින් අඩු වයස් වලින් ලිංගිකව එක්වීම් වැළැක්වීමත්, අපයෝජනය වීම් වැළැක්වීමට මෙන්ම එච් අයි වී සදහා ගොදුරු වන ප්‍රමාණය අඩු වන බවත් ප්‍රකාශ කළාය.
තාරුණ්‍යයට ගැලපෙන දෙමාපිය මගපෙන්වීම පිළිබදව විශේෂඥ වෛද්‍ය චිරන්තිකා විතාන මහත්මිය සහ විශේෂඥ වෛද්‍ය ආසිරි හේවාගමගේ මහත්මිය දේශණ පවත්වන ලදී. මෙම දේශණයන් මගින් ගම්‍ය වනුයේ තාරුණ්‍ය යනු තාරුණ්‍ය යනු ශාරීරිකව සහ මානසිකව විශාල වෙනස්කම් රාශියක් සිදුවන කාලයක් වන හෙයින් මෙය දෙමාපියන්ට විශාල අභියෝගයක් වන බවයි. එනම් කුඩා කල සිට දෙමාපියන්ට කීකරුව හැදෙන වැඩෙන දරුවන් තාරුණ්‍යයට එළඹීමත් සමග ඔවුන්ගේ ක්‍රියා කලාපයේ විශාල වෙනසකට භාජනය වෙයි. මෙහිදී දෙමාපිය බලයට නතු නොවන දරුවන් ස්වාධීනත්වය රැකගැනීමට කටයුතු කරයි. මෙම අවස්ථාවේදී දෙමාපියන් සතුව විශාල කාර්යයභාරයක් ඇත. එනම් දරුවන්ට දැනෙන්න ආදරය කල යුතුය.
එමෙන්ම දරුවන්ට වගකීම් භාරදීම, තේරීම් කිරීමට අවස්ථාවක් ලබාදීම, පවුලේ කටයුතු වලදී සහ තීරණ ගැනීමේදී දරුවන් හවුල් කරගැනීම වඩා වැදගත් වෙයි. දෙමාපියන් සහ තරුණ දරුවන් අතර මනා සම්බන්ධතාවයක් පවත්වාගැනීම සදහා හොද සන්නිවේදනයක් තිබිය යුතුය. එමෙන්ම දරැවාට ඇහුම්කන් දීමද වැදගත් වෙයි. දරුවා ගැන, ඔහු ඇසුරු කරන්නන් ගැන විමසිලිමත් වීමත්, තරුණ දරුවාට පවසන දෙය එකම දේ පුනර් උච්ඡාරණය නොකර කෙටියෙන් කීමත් වඩාත් ප්‍රායෝගිකය. දරුවාගේ හොද පිළිබදව ප්‍රශංසා කළ යුතුය. එමෙන්ම දෙමාපියන් විසින් දරුවාව හෙළා දකිමින් පහත් කරමින් කිසි ලෙසකින් කතා නොකළ යුතුය. එලෙස දරුවා පහත් කරමින් කතා කිරීම තුළ දරුවාගේ පෞර්ෂය මරා දැමීමක් සිදුවේ. කොටින්ම දෙමාපියන්ගේ පරම යුතුකම විය යුතතේ කොන්දේසි විරහිතව දරුවන්ට ආදරය කිරීමයි.
තාරුණ්‍යයට සෞඛ්‍යමත් සමාජ මාධ්‍ය භාවිතය පිළිබදව අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය අසන්ති ප්‍රනාන්දු මහත්මිය කියා සිටියේ නූතන තාක්ෂණීය විප්ලවීය වෙනසත් සමගම සමාජ මාධ්‍ය භාවිතය දෛනික කටයුතු වල අංගයක් බවට පත්වී ඇති බවයි. එමෙන්ම නූතන තරුණ පරපුර නූතන තාක්ෂණය සහ අන්තර්ජාල භාවිතය සදහා කුඩා කල සිටම හුරු පුරුදු වී සිටියි. සමාජ මාධ්‍ය තාරුණ්‍යයේ සතුරෙකු නොවන අතර එය ජීවිතයට නැවුම් ආශ්වාදයක් ගෙනදිය හැකි , බොහෝ දේ ඉගෙන ගත හැකි වටිනා මාධ්‍යයකි. එමෙන්ම වඩාත් අවදාරණය කළ යුතු කරුණක් වන්නේ ආරක්ෂාකාරී, වගකීම් සහගත සමාජ මාධ්‍ය භාවිතය ප්‍රතිඵලදායක බව ගෙන දෙන බවයි.
IEA පළමු ගිනිකොන දිග ආසියාතික කලාපීය කණ්ඩායම් සමුළුව සහ ශ්‍රී ලංකා ප්‍රජා සෞඛ්‍ය විශේෂඥයින්ගේ සංගමයේ 24 වන විද්‍යාත්මක සැසිවාරය පිළිබදව සමුළුවෙහි උප සම ලේකම් වෛද්‍ය ජීවරංග ගුණසේකර මහතා ප්‍රකාශ කර සිටියේ සමුළුව සැප්තැම්බර් මස 19 සිට 21 යන දිනයන්හි කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වීමට නියමිත බවයි.
ලොව පුරා රටවල් 100 කට අධික ප්‍රමාණයක විසිරී සිටින ප්‍රජා සෞඛ්‍ය විශේෂඥයින්ගෙන් සැදුම්ලත් International Epidemiological Association (IEA) අප සමග එක්වෙනු ඇත. මෙවර සමුළුවේ තේමාව වන්නේ සැමට සෞඛ්‍ය උදෙසා නිවැරදි ආයෝජනයක් යන්නයි. මෙය එක්සත් ජාතීන්ගේ ලෝක සංගමය විසින් ප්‍රකාශිත තිරසාර සංවර්ධන ඉලක්ක සමග සමපාත වන ලෙස නිර්මාණය කරන ලද්දකි. මෙම සමුළුව පුරා දිවයන මෙම තේමාව අනුසාරයෙන්, තරුණ පරපුර උදෙසා මූල්‍යමය සහ සම්පත් යොමු කිරීම මගින් රටක තිරසාර සංවර්ධනය කිරීමේ ක්රමෝපායන් සාකච්ඡාවට බදුන් කෙරෙනු ඇත.