ග්‍රන්ථය පාසල් සිසුන්ට පිළිගැන්වීමේ අවස්ථාව පොළොන්නරුව රාජකීය විදුහල් ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු අතර එය ජනතාවට පිළිගැන්වීමේ අවස්ථාව අද පස්වරුවේ දී එම ශ්‍රවණාගාරයේ දීම සිදු විය.
ග්‍රන්ථය පාසල් සිසුන්ට පිළිගැන්වීම සංකේතවත් කරමින් දිස්ත්‍රික්කයේ විදුහල් කිහිපයක විදුහල්පතිවරුන් වෙත එය භාරදීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මෙම උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කරන ලදී.
පොළොන්නරුව ඓතිහාසික වටිනාකම් සහ අතීත ශ්‍රී විභූතිය කියාපාමින් ප්‍රවීණ රංගන ශිල්පින්ගේ සහභාගිත්වයෙන් ඉදිරිපත් කෙරුණු ප්‍රාසාංගික ඉදිරිපත් කිරීමකින් ද මෙම අවස්ථාව වර්ණවත් විය.
ශ්‍රී ලාංකේය ඉතිහාසයේ පොළොන්නරුවට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. වසර එකසිය හැට හයක් පමණ පැවති ඓතිහාසික පොළොන්නරු රාජ්‍ය බිඳවැටීමෙන් පසුව ජන ශූණ්‍ය ප්‍රදේශයක් වූ පොළොන්නරුව, මින්නේරිය ගොවි ජනපද ව්‍යාපාරය ආරම්භයත් සමග යළිත් වරක් ජනාවාස විය. එමෙන්ම මෙම ප්‍රදේශය ජාතියට බත සපයන සශ්‍රීක භූමි භාගයකින් හෙබි, ඓතිහාසික වටිනාකම් රැසක් සහිත පළාතකි.
මෙම ප්‍රදේශය ආශ්‍රිත ව ගොඩනැගුණු අනුස්මරණීය ඉතිහාසය සහ පසුකාලීන ක්‍රමික සංවර්ධනය මුද්‍රිත ප්‍රකාශනයක් ලෙස එළිදක්වමින් “පොළොන්නරුව” ශාස්ත්‍රීය සංග්‍රහය සම්පාදනය කොට තිබේ.
නව දැනුම උකහා ගැනීමත්, අතීතය හා සබැඳි වර්තමානය තරණය කොට සක්‍රිය අනාගතයත් කරා එළැඹීම සඳහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අපේක්ෂාවන් ඉටු කරමින් මෙම ග්‍රන්ථ සම්පාදනය කොට ඇත.