ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සකස් කර ඇසුරුම් කරන ලද වැලි ඉතා සහනදායී මිලට නොවැම්බර් 01 දා සිට වෙළඳපලේ

    ඔක්තෝබර් 30, 2019

    ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව (SLLRDC) මඟින් පාලනය වන රුපියල් මිලියන 400 ක වියදමකින් යුතුව ඉදිකරන ලද සෝදා හලන ලද මුහුදුවැලි අළෙවි කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස එහි කාර්යසාධනය ඉහළ නැංවීම සහ මහජනතාවට සහනදායී මිල යටතේ වැලි සැපයීමේ අරමුණින් යුතුව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සකස් කරන ලද ඇසුරුම් කළ වැලි පැකට්කර බෙදා හැරීම සඳහා වත්තල කෙරවලපිටියේ පිහිටි ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු භුමියේ ස්ථාපිත මුහුදු වැලි ඇසුරුම් මධ්‍යස්ථානය විවෘත කිරීම සහ කොළඹ, කළුතර, ගාල්ල යන දිස්ත්‍රික්කයන්හි ඉදිකිරීම් අලෙවිසල් වෙත වැලි ඇසුරුම් බෙදාහැරීම 2019 නොවැම්බර් 01 දා මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පෙ.ව 08.00 ට සිදු කිරීමට නියමිතයි.


    දැනට වෙළඳපලේ අළෙවි වන වැලි කියුබ් එකක සාමාන්‍ය මිල රුපියල් 18,000 ක් පමණ වේ. එමෙන්ම වර්තමානයේ විවිධ හේතූන් නිසා පාරිභෝගිකයාට ගංගා වැලි ලබා ගැනීම දුෂ්කර වනවා මෙන්ම විවිධ හේතූන් මත එම වැලි අපතේ යාමක් ද සිදුවේ. එහෙත්, පිරිසිදු කරන ලද මුහුදු වැලි භාවිතයේ දී එවැනි කිසිඳු ගැටළුවක් පැන නොනගින හෙයින් විශාල ලාභයක් පාරිභෝගිකයාට ලැබේ. ඉතා සහනදායි මිලට මිල දී ගත හැකි මෙම වැලි (50Kg) පැකට්ටුවක විකුණුම් මිල රුපියල් 220.00 කි.

    මෙම සැකසුම් කරන වැලි නිෂ්පාදනාගාරය පිළිබඳ නිරීක්ෂණ චාරිකාවක් සඳහා සහභාගී වීමට මාධ්‍ය ක්ෂේත්‍රයේ නිරතවන්නන්ට ද  (29) අවස්ථාව හිමි වීය. එමෙන්ම මෙකී ව්‍යාපෘතිය මඟින් සිදුවන සියළුම ක්‍රියාවලීන් අධ්‍යනය කිරීම සහ නිරීක්ෂණය කිරීමට අවකාශය සැලසුණු අතර එකී ක්‍රියාවලීන් පිළිබඳ විස්තරාත්මකව පැහැදිළි කිරීම් ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා විසින් සහ REDECO ආයතනයේ ප්‍රධාන කළමණාකාර සුනිල් පෙරේරා මහතා විසින් සිදු කරන ලදී.

    මෙම ව්‍යාපෘතියේ වැලි පිරිපහදු කිරීමේ කටයුත්ත සඳහා REDECO පෞද්ගලික ආයතනය සම්බන්ධ වී කටයුතු සිදු කරනු ලබයි. එම ආයතනය විසින් මුහුදු වැලි හැලීම, සේදීම ආදී කටයුතු සිදු කරනු ලැබේ. වැලි සේදීම භූ ගත ජලය මඟින් සිදු කෙරෙන අතර, කෙරවලපිටිය ප්‍රදේශය ආශ්‍රිත ජලයේ ලවණ ප්‍රමාණය අධික වීම නිසා එම ජලය පිරිපහදු කිරීමක් ද සිදු වේ. එලෙස පිරිපහදු කළ ජලයෙන් මෙම මුහුදු වැලි සේදීම සිදු කෙරේ. එලෙස පිරිපහදු කෙරෙන වැලි ඇසුරුම්කරණය කර වෙළඳපලට නිකුත් කිරීම මෙම
    ව්‍යාපෘතිය හරහා සිදුවේ. මෙය රාජ්‍ය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව සිදු කෙරෙන ක්‍රියාවලියක් වන අතර ඉතා කාර්යක්‍ෂම සේවාවක් මහජනතාවට ලබාදීම අපේක්ෂිත වේ.
    සෝදා හලන ලද මුහුදු වැලි අළෙවි කිරීමේ ව්‍යාපෘතිය මඟින් වෙළඳපලට හඳුන්වා දී ඇති වැලි ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා යොදාගැනීමට යෝග්‍ය බව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ ඉංජිනේරු ද්‍රව්‍ය පර්යේෂණාගාරය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, කාර්මික ආයතනය සහ මොරටුව කටුබැද්ද විශ්විද්‍යාලයේ ඉංජිනේරු අධ්‍යනාංශය යන ආයතන වලින් සහතික කර ඇති අතර ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුල ලෙස වැලි සකස් කිරීම සඳහා ව්‍යාපෘතියේ ඉංජිනේරුවරුන් විසින් විදේශීය පුහුණුවක් ද මේ සම්බන්ධව ලබාගෙන ඇති බව ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා විසින් මෙහි දී සඳහන් කරන ලදී.

    එමෙන්ම, වර්තමානයේ ශ්‍රී ලංකාවේ භාවිතා කරන සියළුම අධිවේගී මාර්ගවල සැම පාලමක්ම ඉදිකිරිම සඳහා 100% ක් ම භාවිත කරණු ලබන්නේ මෙමඟින් සපයන වැලි බවත්, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවෙන් ඉදිකිරීම් කොන්ත්‍රාත් අවසන් කළ සැම මහල් නිවාස යෝජනා ක්‍රමයක් සඳහාම (තට්ටු 10 ට වඩා වැඩි) මෙම වැලි භාවිතා කර ඇති නිසා මහජනතාව අනිසි බියකින් තොරව තම ඉදිකිරීම් සඳහා මෙම සැකසූ වැලි භාවිත කළ හැකි බවත් මෙහි දී සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    දැනට ඉදිකිරීම් සඳහා යොදාගන්නා ගංගාවල වැලි ගොඩදැමීම නිසා විශාල පරිසර හානියක් සිදු වේ. ගංගා ඉවුරු ඛාදනය වීම හා නායයෑම්, අධික ලෙස ගංගා පතුළ හැරීම නිසා මුහුදු ලවණ ජලය ගංගා ජලයට එක වීමෙන් ප්‍රයෝජනයට ගත නොහැකි වීම ආදී
    විවිධ පාරිසරික ගැටළු මතුවේ. එවැනි පාරිසරික ගැටළු වලට යෝග්‍ය ප්‍රයෝගික විසඳුමක් ලබා දීම සඳහා 2018 වසරේ ස්ථාපිත කරන ලද මෙම ව්‍යාපෘතිය මඟින් අනාගතයේ දී ගංගා ආශ්‍රිත වැලි ගොඩදැමීම   වැළැක්වීම ද මෙමඟින් අපේක්ෂා කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya