ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    එච්.අයි.වී. ආසාදිතයන් 3400කට අධික පිරිසක් හඳුනාගෙන- ජාතික ලිංග්‍රාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රිකා ගුණසේකර

    ඔක්තෝබර් 30, 2019

    එච්.අයි.වී/ඒඩ්ස් ආශ්‍රිතව සිදු කරන මාධ්‍ය වාර්තාකරණය වඩාත් හරවත්ව සහ ආචාර ධර්මවලට අනුකූලව සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳව මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් ඊයේ (29) පෙරවරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදි පැවැත්විණි.

    ජාතික ඒඩ්ස් මර්ධන වැඩසටහන සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය එක්ව සංවිධානය කර තිබූ මෙම වැඩමුළුවට එක් වූ ජාතික ලිංග්‍රාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පැවසුවේ එච්.අයි.වී හෝ ඒඩ්ස් වැළඳුනු පුද්ගලයන්ට සහ ඔවුන් සමග ජීවත් වන්නන්ට ගෞරවයක් ඇතිව සමාජයේ ජීවත් වීමට ඉඩ සලසා දීම අපගේ යුතුකම බවයි.

    ශ්‍රී ලංකාව තුළ එච් අයි වී ආසාදිතයන් 3400කට අධික පිරිසක් හඳුනාගෙන ඇති බවත් ඒ අතුරින් 1600ක් පමණ රෝගීන් දැනටමත් සායන වලින් බෙහෙත් ලබා ගන්නා බවත් 500ක් පමණ මිය ගොස් ඇති බවත්ය මෙම වැඩමුළුවට එක් වූ ජාතික ලිංග්‍රාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රිකා ගුණසේකර මහත්මිය පැවසුවාය.

    දැනට හඳුනාගෙන ඇති මවගෙන් එච්.අයි.වී ආසාධිත වූ දරුවන් ගණන 80කි. සංඛ්‍යා ලේඛන අනුව 2018 වසරේදී එච් අයි වී ආසාදිතයන් 350ක් හඳුනා ගෙන ඇති අතර එය 2017 වසරට සාපේක්ෂව 23% වැඩිවීමකි. ඉන් 285 දෙනෙකු පුරුෂයන් බවත් ඉතිරිය කාන්තාවත් බවත් හඳුනා ගෙන තිබේ. ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටනේ වාර්තාවලට අනුව බොහෝ එච් අයි වී ආසාදිතයින් හමුවන්නේ ඔවුන්ට වෛරසය අසාදනය වී වසර 5ක් 10ක් ගෙවුණු පසුවයි. නවතම දත්ත උපුටා දක්වමින් ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පවසන්නේ මේ වනවිට ශ්‍රී ලංකාවේ සමලිංගික ඇසුරු පවත්වන පිරිමි අතර එච් අයි වී ආසාදනය ඉහළ ගොස් ඇති බවයි.

     එච්.අයි.වී වෛරසය වැළඳුනද ඒඩ්ස් තත්ත්වයට නොයා සාමාන්‍ය ලෙස ජීවත් විය හැකි බවත් ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතා වැදගත් බවත් පැවසූ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රිකා ගුණසේකර මහත්මිය, රට පුරා ඇති සායන මගින් මෙම පරීක්ෂණ නොමිලේ කර ගත හැකි බවත් මෙම දැනුම්වත් වීම ජනමාධ්‍ය හරහා මහජනතාවට ලබා දෙන ලෙසද මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියාය.

     සුළගින් පවා ඒඩ්ස් රෝගය බෝ වෙනවා යැයි කියමින් කුරුණෑගල සහ මාතලේ ඇති වූ සිද්ධීන් නැවත ඇති වීමට ඉඩ නොදිය යුතු බව පැවසූ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා , ජනතාව තුල ඇති දුර්මත සමාජගත වීම වලක්වා නිවැරදි මතවාද සහ අදහස්‌ සමාජගත කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම ජනමාධ්‍යවේදීන්ගේ කාර්යභාරය බව සඳහන් කළේය.

    සමාජ මාධ්‍ය ඉදිරියට පැමිණි නූතන යුගයේ, ජංගම දුරකථනයක් අතැති සියලු දෙනා වර්තාකරුවන් බවට පත් වී ඇති බවත් ජනමාධ්‍යවේදීන් තමන්ගේ කාර්යභාරය නිසියාකාරව ඉටු නොකළහොත් අනාගතයේදී ගැටලු රැසකට මුහුණ දීමට සිදු විය හැකි බව මෙහිදී අදහස් දැක් වූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි මහතා පැවසීය.

    Positive Women Network ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි, සමාජ සේවිකා ප්‍රින්සි මංගලිකා මහත්මියද මෙහිදී තම අදහස් හුවමාරු කර ගැනීමට එක්ව සිටියාය.

    සහභාගී වූ විද්යුත් හා මුද්‍රිත මාධ්‍යවේදීන්, විශේෂඥ වෛද්‍යවරු සමග වැඩසටහන අවසානයේ දී සංවාද සැසියක් ද පවත්වන ලදී.

     සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා ඇතුළු විශේෂඥ වෛද්‍යවරු, ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිටබණ්ඩාර, මාධ්‍ය විශ්ලේෂක දර්ශන අශෝක කුමාර ඇතුව නොයෙක් රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් රැසක් මෙම වැඩමුළුවට එක්ව සිටියහ.

    වැඩමුළුව හෙට(30) දිනයේදීද පැවැත්වීමට නියමිතය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya