ජයරත්න මහතාගේ දේහයට ගෞරව දැක්වීමට සූදානමින් සිටින සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට,රාජ්‍ය නිළධාරීන්ට,ඥාති හිතමිත්‍රාදීන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට ඒ සඳහා දහවල් 12.30 වනවිට පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණෙන ලෙස පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා නිවේදනය කර සිටී.
ශ්‍රී ලංකාවේ 14 වැනි අග්‍රාමාත්‍යවරයා වූ දි.මු ජයරත්න මහතා පාර්ලිමේන්තුවට මුල්වරට තේරී පත්වූයේ 1970 වසරේ දීය. දිවංගත අග්‍රාමාත්‍ය එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා 1951 වසරේ මහනුවරදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කිරීමෙන් පසු දි.මු.ජයරත්න මහතා එහි 13 වන සාමාජිකයා ලෙස සාමාජිකත්වය ලබා ගෙන ඇත.
ගම්පොල පිහිටි දොළුව මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබු ඒ මහතා දොළුව මහා විද්‍යාලයෙහි ගුරුවරයෙකු ලෙසින් මෙන්ම දොළුව තැපැල් ස්ථානාධිපතිවරයා ලෙස ද කටයුතු කර ඇත.
ජයරත්න මහතා මුල්වරට කැබිනට් මණ්ඩලයට ඇතුළත් වූයේ 1994 වසරේදී පිහිටුවනු ලැබූ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජය යටතේ ඉඩම්, කෘෂිකර්ම හා
වන සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස පත්වෙමිනි.
ඉන් අනතුරුව දි.මු ජයරත්න මහතා කෘෂිකර්ම, ආහාර සහ සමූපකාර, තැපැල්, විදුලි සංදේශ සහ උඩරට සංවර්ධන, තැපැල්, විදුලි සංදේශ, ග්‍රාමීය ආර්ථික සංවර්ධන, වැවිලි කර්මාන්ත, බුද්ධ ශාසන හා ආගමික කටයුතු ආදී අමාත්‍යධූර ගණනාවක් ද හෙබවීය.
ඔහු අග්‍රාමාත්‍යවරයා ලෙස 2010 සිට 2015 වසර දක්වා කටයුතු කළේය. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජීවතුන් අතර සිටි ජ්‍යෙෂ්ඨතම සාමාජිකයා ද වු අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරයකු ලෙස මියයන තුරුම කටයුතු කළේය.
තවද 1993 වසරේ පිහිටුවන ලද පොදුජන එක්සත් පෙරමුණේ ආරම්භක මහලේකම්වරයා වූ දි.මු ජයරත්න මහතා මියයන තුරුම එම තනතුරද හෙබවීය.
දි.මු ජයරත්න මහතා අනුලා යාපා ජයරත්න මහත්මියගේ ස්වාමි පුරුෂයා වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතාගේ සහ දියණියන් දෙදෙනකුගේ පියා විය.