දියුණුවෙමින් පවතින තාක්ෂණික විප්ලවය දියුණුකිරීමේ වගකීම විෂය භාර අමාත්‍යවරයා ලෙස තමාට ජනාධිපති තුමා විසින් පවරා ඇති බවත්, ලංකාවේ තොරතුරු තාක්ෂණ අංශය විශාල වශයෙන් දියුණුවෙමින් පවතින බවත් එම අංශය තවදුරටත් දියුණු කිරීමේ පරමාර්ථයෙන් තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ සියලුම වර්ගයේ බදු මුළුමනින්ම අහෝසි කිරීමට කටයුතු කළ බවත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ,උසස් අධ්‍යාපන,තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කරන ලදී.
ඒ අනුව, තොරතුරු තාක්ෂණයට අනුසාංගික වන සියලුම දේශීය හා විදේශීය වශයෙන් කිසිඳු බද්දකට යටත් නොවන බවත්, මෙලෙස බදු අහෝසි කිරීම මඟින් තොරතුරු තාක්ෂණයේ විශාල පිබිදීමක් අපේක්‍ෂා කරන බවත්, වර්තමානයේ විවිධ තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ නව නිපැයුම්, නිර්මාණ සිදු කරන පුද්ගලයින්ට ලංකාණ්ඩුවට කිසිඳු බදු ගෙවීමකින් තොරව වුවමනා ලෙස සීමාවක් නොමැතිව තම ඉපැයීම් කළ හැකි වන බවත් අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.