ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    ජාතික පාසල් 278ක විදුහල්පති පුරප්පාඩු සඳහා සම්මුඛ පරීක්ෂණ 23 දා ආරම්භ වෙයි

    දෙසැම්බර් 20, 2019

    ජාතික පාසල් 278ක විදුහල්පති පුරප්පාඩු සඳහා සම්මුඛ පරීක්ෂණ දෙසැම්බර් 23, 24, 26,27 සහ 28 දිනයන්හි අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    ජාතික පාසල් 278ක විදුහල්පති පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවා කොමිසමේ අධ්‍යාපන සේවා කමිටුවේ නියමය පරිදි ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ සුදුසුකම් ලත් නිලධාරීන්ගෙන් පසුගිය අගෝස්තු මාසයේ දී අයදුම්පත් කැඳවන ලදී.

     

    ඒ අනුව, අයදුම්පත් යොමු කළ, නියමිත සුදුසුකම් සහිත නිලධාරීන් තෝරාගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ දෙසැම්බර් 23 වැනි දා සිට ආරම්භ කිරීමට අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් උපදෙස් ලබාදී ඇති අතර, මෙම සම්මුඛ පරීක්ෂණ දෙසැම්බර් 23, 24, 26,27 සහ 28 දිනයන්හි අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

     

    මේ යටතේ පුරප්පාඩු පවත්නා පාසල් සංඛ්‍යාවට සමාන නිලධාරීන් සංඛ්‍යාවක් විදුහල්පතිවරුන් ලෙස පත්කිරිම සඳහා තෝරාගැනෙන අතර, අයදුම්කරුවන්ට තම මනාපය පරිදි පාසල් කිහිපයක් නම්කිරීමට අවස්ථාව සලසා දී තිබේ. විදුහල්පති තනතුරට පත්කිරීමේ දී ඔවුන්ගේ එම මනාපයන් සැලකිල්ලට ගැනීමට ද අපේක්ෂිතය.

     

    ඒ අනුව, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව විසින් අනුමත කරන ලද ලකුණු පටිපාටියක් යටතේ, එම කමිටුව මගින් පත්කරනු ලබන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් විසින් ලබාදෙන ලකුණු, අයදුම්කරුගේ ඉල්ලීම, සේවා අවශ්‍යතාව, අයදුම්කරු සම්බන්ධව පැවති හා පවත්නා විනය කටයුතු මෙන් ම අධ්‍යාපන ලේකම්ගේ නිර්දේශය මත පදනම් ව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා‍ කමිටුව විසින් මෙම විදුහල්පති තනතුරු සඳහා බඳවා ගැනීම් ඉදිරි වර්ෂයේ දී සිදුකරනු ලැබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya