ශ්රී ලංකාවේ මෙන් ම ජාත්‍යන්තරයේ ද ආදරයට හා ගෞරවයට පාත්‍ර වී සිටින නැදුන්ගමුවේ රාජා හස්තියා වෙනුවෙන් මෙලෙස මුල්දින කවරය හා මුද්දරය නිකුත් කිරීම සිදු කෙරිණ.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ,උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද මුල්දින කවරය හා සමරු මුද්දරය නිකුත් කිරීම අද (30) ගම්පහ දී සිදු විය.
නැදුන්ගමුවේ රාජා නමින් ජනතා ආදරයට දිනා ගැනීමට සමත් වුණේ, රජු දළදා කරඬුව වැඩමවීමේ ඒ උතුම් පුණ්‍යකර්මය සඳහා වාර්ෂිකව සෙංකඩගලට පැමිණීමත්, ආපහු නැදුන්ගමුව බලා පිටත්වන්නේත් පාගමනින්ම වන නිසාය. ඇත් රජුගේ ප‍්‍රතාපවත් බව, ගාම්භීරබව මෙන්ම, වශීකෘත රූපකාය සමාජයක අවධානය සැණෙකින් දිනාගැනීමට සමත්ව තිබේ. මහනුවර දළදා පෙරහැරට සම්බන්ධ වීමට තරම් නැදුන්ගමුවේ රාජා පින්වන්තයෙකු වී තිබේ. එසේ හෙයින් ම ජනී ජනයාගේ වන්දනාවට ද නැදුන්ගමුවේ රාජා පාත්‍ර වූ අවසථා බොහෝය.
වර්තමානයේ රාජාගේ හිමිකරු වන්නේ සුප‍්‍රකට හෙළ වෙදැදුරු නැදුන්ගමුවේ හර්ෂ ධර්මවිජය මහතාය. මෙම හස්තියා ශ‍්‍රී ලංකාවේ උපන් හස්තියකු නොවේ. ඉන්දියාවේ මයිසූර් ප‍්‍රාන්තයේ උපත ලද මෙම හස්තියා කුඩා කල ජීවත්ව සිට ඇත්තේ එම ප‍්‍රාන්තයේ මහාරාජාවරයකුගේ ඇත් ගාලක බව කැයැවෙයි. මෙම හස්තියා ශ්‍රී ලංකාවට ලැබුණේ නීලම්මහර වෙද හාමුදුරුවන්ට ලැබුණු තුටු පඬුරක් ලෙසය.
ඇත් පරපුරේ මෙවන් හස්තියෙකු ඉතා දුර්ලභ වන අතර මෙවැනි ගාම්භීර පෙනුමැති හස්තීන් ජාතික සම්පත් වෙයි. මුල්දින කවරය නිකුත් කිරීමේ අවස්ථාවට මහා සංඝරත්නය, තැපැල්පති රංජිත් ආරියරත්න්න මහතා ඇතුළු විශාල පිරිසක් ද එක්ව සිටියහ.